ජාත්‍යන්තර විකාශන ආයතන තුනකට රුපියල් මිලියන 500ක් පමණ ගෙවීමට තිබෙන හෙයින් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන ව්‍යාපාර අකර්මණ්‍ය වී ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව එම ආයතනයේ සේවා පවත්වා ගැනීමේ දී ඇති ගැටළු නිසා අමතර ණය රුපියල් මිලියන 600ක් පමණ ගෙවීමට ඇති බවත් ඩේලි එෆ්.ටී. පුවත් පත වාර්තා කරයි.

2014 සිට 2015 මාර්තු දක්වා වූ කාලය තුළ අල්ජසීරා, ස්කයි නිවුස් හා බ්ලූම්බර්ග් යන මාධ්‍යවල කළ ප්‍රචාරණ කටයුතු සඳහා එම හිඟ බිල්පත් ගෙවීමට ඇතැයි සංචාරක සංවර්ධන අමාත්‍යංශ ලේකම් ජානක සුගතදාස මහතා පවසයි.

“අල්ජසීරා, ස්කයි නිවුස් හා බ්ලූම්බර්ග් යන මාධ්‍ය ආයතනවලට අපිට ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 500ක් විතරයි. අනුමැතිය සඳහා මෙම විස්තර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මෙම හිඟ මුදල් ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යංශයේ අරමුදල්වලින් ගෙවීමට නියමිතයි“ ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ජානක සුගතදාස මහතාට අනුව පසුගිය රජය මෙම ගිවිසුම් අත්සන් කර ඇත. මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතියේ සම්පුර්ණ වියදම රුපියල් මිලියන 700ක් පමණ වන අතර ඉන් රුපියල් මිලියන 200ක් පමණ පසුගිය රජයේ හිටපු නිලධාරීන් විසින් ගෙවා දමනු ලැබ ඇත. 
ඊට අමතරව ප්‍රවර්ධන වැඩසටහන් හා අනුග්‍රාහක වැඩසටහන් සඳහා භාවිත කළ ශ්‍රී ලංකා ප්‍රවර්ධන අධිකාරියේ නොගෙවු ණය මිලියන 600ක් පමණ ඇති බවද සුගතදාස මහතා කීවේය.

“මෙම ව්‍යාපෘතිවල අපැහැදිලි තැන් ගොඩක් තියෙනවා.මෙහි ස්වභාවය පැහැදිලි නැහැ. නීත්‍යානුකූලභාවයේ ගැටළු තියෙනවා. ඔවුන් නීත්‍යානූකූලව ගිවිසුම් අත්සන් කර ඇත්දැයි ප්‍රශ්නයක්. ඒ වගේම නිසි අනුමැතියක් ලැබුණාදැයි ගැටළුවක් පවතිනවා. ඒ වගේම ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇත්ද යන්න ප්‍රශ්න තියෙනවා. මේවා ගොඩක් මෙරට සමාගම්. නමුත් විදේශ සමාගම් කිහිපයක් ද තියෙනවා.“ඔහු කීවේය.

මෙම විකාශන ආයතන ඉදිරි ප්‍රවර්ධන කටයුතු සඳහා සහය ලබාදීමට එකඟ වූ බව සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තහවුරු කළේය.

“මෙතන තියෙන ප්‍රශ්නය පසුගිය රජය විශාල ප්‍රවර්ධන ව්‍යාපාර සඳහා ණය ලබාගෙන ඒවා නොගෙවා තිබීමයි. දැන් අපිට අපේ ප්‍රචාරණ කටයුතු මෙම ආයතන මගින් කරගැනීමට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා“

“මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ ලේකම්වරයා කැබිනට් පත්‍රයක් සකස් කළා. කෙසේනමුත් එම ආයතන දැන් කැමති වෙලා තියෙනවා අපේ ප්‍රචාරණ කටයුතු ඉදිරියටත් කරන්න. තව මාසෙකින් අපිට අපේ ප්‍රචාරණ කටයුතු යථා තත්ත්වයට ගන්න පුළුවන් වෙයි“ ඒ මහතා කීවේය. 

අමාත්‍යවරයා පැවසුවේ පසුගිය රජය විසින් කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරය නිසා සංචාරකයින් මෙරටට පැමිණීම මත යහපත් බලපෑමක් ඇති වූ බවයි.