(අංජුල මහික වීරරත්න)

සංචාරක කර්මාන්තය නැංවීම සඳහා 2027 වසරේ සිට මුදල් අමාත්‍යාංශය හරහා සෘජුවම දිස්ත්‍රික්ක වෙත අරමුදල් වෙන් කිරීමට තීරණය කළ බව විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

සංචාරක අමාත්‍යාංශය හරහා මුදල් වෙන්කිරීමේ පැවති ක්‍රමය වෙනුවට මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් සංචාරක ක්ෂේත්‍රයේ ගැටලු ඉක්මනින් නිරාකරණය කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ රාජ්‍ය ආයතන, වනජීවී, පුරාවිද්‍යා හා පොලිසිය ඇතුළත් අනුකමිටුවක් පත්කර මාස දෙකකට වරක් රැස්වන ලෙස ද උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින ගැටලු නිරාකරණය කිරීම සහ විදේශ රැකියා ක්ෂේත්‍රය සඳහා වැඩි කුසලතා පූර්ණ ශ්‍රමිකයින් ප්‍රමාණයක් බිහිකිරීම සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහත්වරු ද මීට සහභාගී වූහ.