( චන්ද්‍රසේන ගමගේ)

සුළි කුණාටුවට හසුව ඉන්දුනීසියාව ආසන්නයට ගසාගෙන ගොස් තිබෙන යාත්‍රා අතුරෙන් එකක් වූ ‘’සවිනි’’ බහුදින යාත්‍රාවේ කොටසක් ගැලවී  යාම නිසා එහි සිටි ධීවරයින් 06 දෙනා  යාත්‍රාව අතහැර වෙනත් යාත්‍රාවකට ගොඩ වී ඇතයි ‘’සවිනි’’ යාත්‍රාවේ හිමි කරු පැවසීය.
 
සවිනි යාත්‍රාව ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි ලෙසම අබලන් වී ඇතැයි තමන්ට එහි සිටි ධීවරයින් අද (21) පෙරවරුවේදී පැවසූ බවත් ජීවිත බේරා ගැනීම සදහා තම යාත්‍රාවේ සිටි ධිවරයින්ට වෙනත් යාත්‍රාවකට ගොඩ වන ලෙසට උපදෙස් දුන් බවත් බෝට්ටු  හිමියා පැවසීය.
 
යාත්‍රාව අතහැර ධීවරයින්ට ළගම ඇති යාත්‍රාවකට ගොඩවන ලෙසට නාවික හමුදාව හා ධීවර අමාත්‍යාංශයද උපදෙස් දී ඇතැයි සවිනි යාත්‍රාවේ හිමිකරු වැඩි දුරටත් පැවසීය.සවිනි  යාත්‍රාව ඉකුත්  මස 19 දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණි.
 
මේ අතර අද (21) දහවල් කුඩාවැල්ල ධීවර වරායේ ගුවන් විදුලි සංඥා මැදිරිය ඇමතූ ඉන්දුනීසියා මුහුදු සීමාවේ ඇති සයුරි  යාත්‍රාවේ මෙහෙයුම් කරු පැවසුවේ තම යාත්‍රාව මේ වන විට ඇත්තේ නාවික සැතපුම් 820 ක පමණ දුරින් බවයි. මේ වන විට සුළි කුණාටුව නිසා යාත්‍රා 18 ක් තම යාත්‍රාව ආසන්යේ පවතින බවත් එම බොහෝ යාත්‍රාවල ඉන්ධන හිග වී ඇති බවත් ඔහු පැවසීය.
 
එමෙන්ම නාවික හමුදා යාත්‍රාවක් තමන්ට ඉන්ධන ලබා දීම සදහා පැමිණෙන බවත් එතෙක් රැදී සිටින  ලෙසට ඔවුන් දන්වා සිටි බවත් එම ධීවරයා කුඩාවැල්ල ගුවන් විදුලි සංඥා  මැදිරිය අමතා පැවසීය.
 
අතරමංවී සිටින ලසිදු  පුතා -2 යාත්‍රාවේ හිමිකරු පැවසුවේ දින 03 න් පසු තම යාත්‍රාව හා සම්බන්ධ වීමට අද හැකි වූ බවත් තම යාත්‍රාවට බීමට ජලය නොමැති බව තම ධීවරයින් පැවසූ බවත් ඔහු සදහන් කලේය.