
(රෝෂන් තුෂාර)
මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 30 දින ආරම්භ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු සුමුදු වැරණියගොඩ මහතා අද (19) දින නියම කළේය .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අවධියේදී එනම් 2023 අගෝස්තු 19 වැනි දින පොදුජන එක්සත් පෙරමුණ විසින් මැද කොළඹ ප්‍රදේශයේ සංවිධානය කළ මහජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් අපහාසයක් හා අපකීර්තියක් සිදුවූ බවත් එමගින් සිදුවූ හානියට වගඋත්තරකරුවන්ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා පැවරූ නඩුවේ වැඩිදුරු විභාගය සඳහා මෙසේ දින නියම කෙරිණි.
දිසානායක මහතා සිය නීතිඥ ශානිකා සිල්වා මහත්මිය මගින් පවරා තිබූ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස සාගර කාරියවසම් මහතා සහ අදාළ ප්‍රකාශය ප්‍රචාරය කළේ යැයි කියන පුද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර ඇත.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී දෙවැනි වග උත්තරකරුගේ උත්තරවාද අධිකරණය හමුවේ ගොනුකරන ලදී.
පැමිණිලිකාර අනුර කුමාර දිසානායක මහතා සිය පැමිණිල්ල මගින් සඳහන් කර ඇත්තේ තමන් දේශපාලනඥයෙකු ලෙස කාලයක් තිස්සේ ගොඩනඟාගත් කීර්තිය හා ජනප්‍රසාදය, අපහාසයට හා අපකීර්තියට පත් කිරීමට වග උත්තරකරුවන් අදාළ ප්‍රකාශ මගින් උත්සාහ දරා ඇති බවය.
මහජන රැලියකදී එවැනි ප්‍රකාශ සිදු කිරීම හා එම රැළියේදී කළ ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් සිදුවූ හානියට වන්දි ලෙස මෙම වන්දි මුදල් අය කරදෙන ලෙසද ඉල්ලා ඇත.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරයා නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 08 දිනට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ සම්පත් යාලේවත්ත ,නීතීඥ භාග්‍යා හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
COMMENTS
සාගරයා කියන්නේ කෙන්ද කන්ද කරලා බොරු බේගල් සමාජගත කරන හැටි කාලයක් තිස්සෙ අපි හරි අවදානයෙන් බලාගෙන හිටියා..ඒ නිසා නීතීමය පියවරක් ගන්ඩයි වටින්නේ...
රනිල්ලාට කරපු අපහාසවලට වන්දි ඉල්ලුවා නම් ඒ මහතා අද මුළු ලෝකයේම ඉහළම ධනපතියෙක්...