(අංජුල මහික වීරරත්න)

මෙරට සාර්ව සෞඛ්‍ය ආවරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවැසීය.

මෙරට සියළු පුරවැසියන්ට ගුණාත්මක, සුරක්ෂිත හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා ද්විතීයික රෝහල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින් පැවැති මධ්‍යම රජයේ සහ පළාත් සභා ඒකාබද්ධ සෞඛ්‍ය සේවා පාලන පද්ධතිය ශක්තිමත් කිරීමේ (Central–Provincial Dialogue) තෙදින සංවාදය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. මහනුවර කැන්ඩි මිස්ට් හෝටලයේදී මෙය පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රතිඵල පදනම් කරගත් ණය මුදලක් (Results Based Loan - RBL) සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක වසංගත අරමුදල් ප්‍රදානයක් (Pandemic Fund Grant) යටතේ 2025 නොවැම්බර් සිට 2030 දක්වා සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන අතර, මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ ඉහත මුදල් සැලසුම් සහගතව යොදවමින් දිස්ත්‍රික්ක 26 හි පිහිටි නගර 82 ක ද්විතීයික රෝහල් 82 ක සේවාවන්වල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි.