(තරිඳු ජයවර්ධන)
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන 575ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.
අමාත්‍යංශයේ ලේකම්වරිය ටීආර්එච්/ජීඊඑන්/16 දරණ ලිපියකින් මේ බව පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීති, විනය හා කල්ක්‍රියා දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේද යන්න ගැන සොයා බලා අගෝස්තු 10 වැනිදාට පෙර වාර්තාවක් සපයන ලෙස අපරාධ, සංවිධානාත්මක අපරාධ, නීති, විනය හා කල්ක්‍රියා දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු විශේෂිත පොලිස් ඒකකවලටත්, සියලුම කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ටත් දැනුම් දී තිබේ.
එම දැනුම් දීම සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට ද යොමු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව ද විශේෂ විමිර්ශනයක් සිදු කර විගණන වාර්තාවක් 2019 අප්‍රේල් මාසයේ නිකුත් කර තිබිණි.
වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණද අමාත්‍යංශ ලේඛනයේ ඇතුලත් නොවූ වාහන 202න් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව එම වාර්තාවේ සඳහන් කර තිබිණි.
ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර තිබූ වාහන සංඛ්‍යාව 18ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුවද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහන දෙකක් අනියුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව තුනක් වුවද සෙඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර තිබුණු බව ද එහි සදහන් වෙයි.
අමාත්‍ය කාර්යාලයට අනියුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනි දා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේ දී කිසිදු අවස්ථාවක අමාත්‍යංශයට පැමිණ නොතිබූ බවත්, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන් කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314ක දී අමාත්‍යංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.
විෂය භාර අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාල කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබාදීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්මේන්තුව පැවැත්ව හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සුදුසු බව ද නිර්දේශ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය මුල් වරට කරන ලද අනාවරණය පහත දිගුවෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ ඕකෙ ඉන්න සේවකයෝමයි ඔය වාහන පන්නන්න ඇත්තේ. හවස ගෙදර යනකොට එක එක ඉනේ ගහගෙන යනවා ඇති. ගේට්ටුවේ ඉන්න හාදයින්ටත් එකක් දෙකක් දෙනවා ඇති අල්ලනවට. රාජිත ඇමතිතුමා දන්නවා නම් හම්බවෙයි කට්ටියට හොඳට.
හැබැයි පිළිකා රෝහලට උපකරණ ගේන්න මිනිස්සුන්ගෙන් සල්ලි හොයනවා. මෙහෙම අස්ථාන ගත වෙන්නේ මේක පුදුම රටක්නේ.
දේශපාලඥයින් පිනවන්න චක්‍රලේඛ වලට,ආයතන සංග්‍රහයට හා මුදල් රෙගුලාසි වලට පිටින් තනතුරු රැක ගැනීමට අත්සන් ගහන රාජ්‍ය නිලධාරීන්ට මේවා හොඳ පාඩම්.
ඇයි අර දුමින්ද දිසානායක කියලා තිබෙන්නේ දේශපාලනයෙන් තොරව රටක් ගෙනියන්න බැහැ කියා. අයියෝ ලංකා
වාහන අංක හා වර්ගය සහිත විස්තරයක් පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරන්න. සොයා දෙන අයටත් ත්‍යාගයක් දෙනවා කියන්න. සාර්ථක ප්‍රථිපලයක් ලැබේවි. සඟවා ගෙන සිටි අයගෙන් අදාල මුදල් අයකර ගන්න. අමාත්‍යාංශයේ වාහන භාරකරුවන්ද මෙයට වගකිව යුතු බවක් පේනවා. සමහර විටක ලියාපදිංචි අංක යටතේ කැලෑබද හෝ වෙනත් ව්‍යාපාරවලට යොදාගෙන තියෙන්නත් පුළුවන්...