(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ශ්‍රී ලංකා පිල එංගලන්ත තරගය ඉතිරිව තිබියදී අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම විශේෂයෙන් කැපී පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලාහෝර්හිදී අද (27) පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 8 කින් සත්කාර පාකිස්තානු පිල පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 111 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 18.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පන්දුයවන්නෝ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු පිල ඕවර 25.3 කදී ලකුණු 110 කට සීමාකිරීමට සමත් වූහ.

වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

පාකිස්තානු පිල ඕවර 25.3කදී සියලු දෙනා දැවී 110 (බාබර් අසාම් 29, හසන් නවාස් 17, ශහීන් ෂා අෆ්රිඩී 15, ඩිල්ෂාන් මධුසංඛ 34/5, සහන් ආරච්චිගේ 24/2) ශ්‍රී ලංකා පිල ඕවර 18.1 කදී කඩුලු 2 ට 114 (කමිඳු මෙන්ඩිස් නොදැවී 62, අවිෂ්ක ප්‍රනාන්දු 16, පවන් රත්නායක නොදැවී 23)