(ඉන්දිකා රාමනායක සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්)

ජනශක්ති   සමූහ ව්‍යාපාරියේ   අධ්‍යක්ෂ  ප්‍රකට ව්‍යාපාරික  දිනේෂ් ශාෆ්ටර්  (51) මහතාගේ  බොරැල්ල සුසානභූමියේ  මෝටර්  රථය තුළ කෲර  වදහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ   සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ දක්වා පුද්ගලයන් 58 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම පිරිසට අමතරව   සී සී ටී වී කැමරා 50 ට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා  පරික්ෂාවට ලක්කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම පිරිස අතර ඒ මහතාගේ බිරිද , ප්‍රවීණ ක්‍රිකට්  විචාරක  බ්‍රයන් තෝමස්, නිවේදක  චමුදිත සමරවික්‍රම, මහතා ඇතුලු පිරිසක් සිටින බවද හෙතෙම කීය.

දැනට සිදුකරන විමර්ශන වලින්  මේ දක්වා සැකක්රුවන් සම්බන්ධයෙන්  කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බවද   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මනුෂ්යම ඝාතන හා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ,  බොරැල්ල පොලිසිය සහ බුද්ධි අංශ  එක්ව   විමර්ශන සිදුකරන බවත්,  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ   නිලධාරීන්  කුඩා කණඩායම්  වශයෙන්  බෙදී මෙම විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.
ඔවුන්   භෞතික හා විද්‍යාත්මක සාක්කි පදනම් කරගෙන, මෙම විමර්ශන  සිදුකරන බවද පොලිසිය පවසයි.