(රෝෂන් තුෂාර)

ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 25 දින සිදු කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා අද (11) දින නියම කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

එච්. චමින්ද නමැති පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ශෂී වීරවංශ මහත්මිය විත්තිකාරිය කරමින් මෙම නඩුව පවරා ඇත.

රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා 2010 ඔක්තෝබර් මස 13 දින ව්‍යාජ  උප්පැන්නයක් ඇතුළු ලේඛන සහිත ඉල්ලුම්පත්‍රයක් ආගමන විගමන පාලකවරයාට ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මෙම නඩුව පවරා ඇත.

විත්තිය වෙනුවෙන් නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා පෙනී සිටියේය.

හිටපු  ආගමන විගමන පාලක ජනරාල් ඩබ්ලව් ආර් චූලන්නන්ද පෙරේරා මහතා නඩුවේ සාක්ෂි දීමට නියමිත අතර අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.