වසර 67ක් දෙස ආපසු හැරී බලා අනාගතයේ කළ යුතු නිවැරදි දේ කරමින් සියලු ජාතීන්ගේ සාමූහිකත්වයෙන් එක් ජාතියක්, එක් රටක් ලෙස නැගී සිට ජාත්‍යන්තර සහයෝගීතායක ඇතිකැර ගනිමින් අපේ මේ උතුම් මව් බිම ලෝකෙන් උතුම් රාජ්‍යයක් බවට පත්කිරීමට කැපවී ක්‍රියාකරන බවත් ඉදිරියේ දී ආදායම් ලැබීමේ පරතරය අඩුකරමින් දුප්පත් කම දුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමටත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමටත් කැපවී ක්‍රියාකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර ජාතික නිදහස් දින සමරු උළෙලේ දී ජාතිය අමතමින් කියා සිටියේය.

ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි.

අද අපි ඉමහත් අභිමානයෙන් 67 වැනි ජාතික නිදහස් දිනය සමරන අවස්ථාව. විශේෂයෙන් ම ඓතිහාසික පදනමක් ඓතිහාසික වැදගත් කමක් ඇති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික පුරවරයේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු කරන පාර්ලිමේන්තුව ඉදිරිපිට ඔබ සැම අමතන්නට හැකිවීම ගැන මා ඉමහත් සතුටට පත්වනවා.

අපේ නිදහස වෙනුවෙන් සටන් කළ විරුවන් සැමරීමට හැකිවීම මහත් වැදගත් දෙයක්. 1815 අපි සිහිපත් කරන්නේ මහත් ඛේදවාචකයක් වූ වසර හැටියටයි. 1818 හා 1848 වසර වල දී අපේ ජාතිය වෙනුවෙන් සටන් වැදුණු වීරයන්ගේ ලෙයින් ජාතිමාමකයන්ගේ ලෙයින් අපේ උතුම් මහ පොළොව තෙත් වුණා. ඒ කැරළිවලින් ඇතිවූ තත්ත්වයන් සමග අපට එය ජයග්‍රහණය කරන්න නොහැකි වූවා සේම එතැන් සිට 1948 දක්වා අපට නිදහසක් ලැබී තිබුණේ නැහැ. මේ කාලය තුළ එවකට සිටි අපේ ජාතික වීරයන් ඒ යුගයේ ජාතික සටන අරගෙන ගිය අපේ උතුම් විරුවන් තම වගකීම් හා යුතුකම් ඉටුකරමින් අපේ මුළු මහත් මාතෘ භූමිය නිදහස් කැර ගැනීම සඳහා අනවරත වූ අරගලයක් අරගෙන ගියා. ඒ අරගලය එක් පැත්තකින් නිදහස් සාමකාමී ස්වරූපයක් ගත්තා. විටෙක එය අවිහිංසාවාදී ස්වරූපයක් ගත්තා. විරෝධතා, වැඩවර්ජන, උද්ඝෝෂණ සමග යටත් විජිත පාලනයට එරෙහිව අපේ ජනතාව පෙළගැසී සිටියා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස ඩොනමෝර් කොමිෂන් සභා කෝල්බෘෘක් කොමිෂන් සභා ක්‍රියාත්මක වුනා,

ඩී.එස් සේනානායක, එෆ්.ආර් සේනානයක, පොන්නම්බලම් රාමනාදන්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක, අනගාරික ධර්මපාල, රොබට් ගුණවර්ධන, ටී.බී.ජයා වැනි ජාතික වීරයන් සියලු දෙනා නමින් සඳහන් කළ නොහැකි වුව ද ඔවුන් දැඩි කැපවීමක් නිදහස දිනා ගැනීම වෙනුවෙන් කරනු ලැබුවා.

සාහිත්‍යධරයන් මුනිදාස කුමාරතුංග, පියදාස සිරිසේන වැනි සාහිත්‍ය කරුවන් තම පෑන් තුඩින් වගකීම උසස් ලෙස ඉටුකරණු ලබුවා. මේ කාලසීමාව සිහිපත් කරණවිට විශේෂයෙන් ම 1948 නිදහස ලැබිලා 1956 බිහි වූ පොදු ජන ආණ්ඩුවේ දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය ත්‍රිකුණාමලය වැනි කඳවුරු ඉවත් කළා. සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1972 දී මේ රටේ පූර්ණ නිදහස ස්ථාපිත කළා. ඉන් පසු අගබාගයේ ඇතිවූ වසර 30ක ම්ලේච්ඡ යුද්ධය අපේ ජාතිය අපේ සංවර්ධනය ගැන ඛේදවාචකයක් වුණා. ඒ සම්බන්ධයෙන් සිදුවූ අලාභ පාඩු කොතෙක් දැයි තක්සේරු කළ නොහැකියි.

ලෝකය හමුවේ ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස නැගී සිටින්නට මේ යුද්ධය අවහිරයක් වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ රණවිරුවන් සමග එක්ව මේ යුද්ධය අවසන් කළා. අපේ වීරෝධාර රණවිරුවන්ගේ ජීවිත කැපවීමෙන්. අති මහත් පරිත්‍යාගයන්ගෙන් යුද්ධය අවසන් කළා. මේ කාලයේ අප රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමත් ඔවුන්ට ගෞරව කිරීමත් අපේ යුතුකමක් හා වගකීමක් වනවා.

2009 වනවිට කොටි ත්‍රස්තවාදය අවසන් කරලා රට සංවර්ධනය කරලා රට ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් ලැබුණත් උතුරේත් දකුණේත් ජනතාවගේ හිත් එකතුකරන්න හැකියාවක් ලැබුණේ නැහැ. භෞතික වශයෙන් යුද්ධය අවසන්වුණත් අපිට තියෙන විශාලම අභියෝගය තමයි ජාතික සංහිදියා පිළිවෙතක් තුළ ජාතික සංහිදියාවකින් මේ උතුරු දකුණු සිත් එකතු කරලා ජාතිය ඉදිරියට ගෙන යාමේ වැදගත් අවශ්‍යතාවක් තිබෙනවා.

67 වසරක නිදහස සමරණ මේ මොහොතේ අවංකවම අපට සතුටු විය හැකි ද අපි ආපසු හැරී බළලා මේ වසර 67 රට පාලනය  කළ සෑම පක්ෂයකට ම නායකයකට ම ඇගිල්ල දිගු කිරීමට සාධාරණය ද ? තම තමන් මේ ගැන සොයා බලා අනාගතය දෙස බැලිය යුතුයැයි මා විශ්වාස කරණවා. අපිට වැරදුණු තැන් සොයා බලා අනාගතය සැළසුම් කිරීම ඒ දෙස බැලීම සුදුසුයැයි මා සිතනවා.

මේ රටේ ජනතාව අතර තිබෙන ආදායම් පරතරය දුගී බව අපි ජයගත යුතු විශාල අභියෝගයක්. ඒ වගේ ම අප විසඳිය යුතු බරපතල ප්‍රශ්නයක්. අපි නව රජය බිහි කරද්දී ජනතාවට පොරොන්දුවක් දුන්නා. අපි දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික වශයෙන් නව සමාජ පරිවර්ථනක් කරන බව. එයට ප්‍රවේශයක් ඇති කළා. දරිද්‍රතාව දර්ශකය සියයට 6.7ක් වනවා. මෙය අවම කිරීමට අප කැපවිය යුතුයි. මගේ ආදරණීය ජනතාව අප කෙරෙහි බලාපොරොත්තු තබමින් බිහි කළ මේ රජය දරිද්‍රතාව අඩු කිරීම කෙරෙහි කටයුතු කළ යුතුයි.

දැනට ඇති ආදායම් පරතරය අඩු කරමින් දුගී බව නැති කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපි කිටයුතු කරනවා. විශේෂයෙන් ම කෘෂිකාර්මික රටක් ලෙස නව තාක්ෂණය, නවීන උපකරණ සමග ලෝකයේ දැනුම ලබාගනිමින් දේශීය ආර්ථිකය අපි ශක්තිමත් කරන්න අපේක්ෂා කරනවා. නව තාක්ෂණය සමග කාර්මික ලෝකය අත්වැල් බැඳගෙන අප ප්‍රබුද්ධ රටක් හැටියට ඉදිරියට යාම අවශ්‍යයි. අපේ නව රජය මේ සඳහා කැපවී සිටිනවා.

රාජ්‍ය සේවය අපක්ෂපාතී කරමින්. සාධාරණ රටක් බිහිකරමින්. විධායක ජනාධිපති ක්‍රමයේ අසීමිත බලතල ඉවත් කරිමන් රට සංවර්ධනයට අප කැපවී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කැපවී සිටිනවා. ජාතික හා අන්තර්ජාතික ප්‍රශ්න විසඳමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුළ සියලු ජාතීන් සමග ලෝකයේ මග පෙන්වීම් ද උපයෝගී කරගෙන අපේ රට ජාතිය පුළුල් සංවර්ධනයකට ගෙන යාමට අපේක්ෂා කරනවා.

නව පරපුර ලෝකය සමග එක් කළ යුතුයි. නව තාක්ෂණය සමග ඉදිරයට ගෙන යා යුතුයි. ඒ නිසා නව පරපුරේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපි සැමවිටම ක්‍රියාකරණ බව ද කිව යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්තීන්ට අනුව ඒවා පිළිපදිමින් අපේ රට ලෝකයේ උතුම් රට බවට පත්කිරීමේ කාර්යය අප ඉටු කරණවා. 67 වැනි නිදහස සමරද්දී ආපසු හැරී බලන්නා සේම නව රටක් ලෙස නව ජාතියක් ලෙස ඉදිරියට ගෙන යාමට කැපවන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.