ශ්‍රී ලංකාවේ මිරිදිය මාළු විශේෂ 93ක් සිටින බවත් එක් මාළුවකු සොයාගත නොහැකි වුවද වඳවී ගියායැයි සිතා සිටි මසුන් විශේෂ තුනක්, නව විශේෂ හතරක් සොයාගත හැකිවූ බවත් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ඉන් විශේෂ 54ක් ශ්‍රී ලංකාවට ආවේණික බව ද එම සංගමය පවසයි. ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ වසර හතක් පුරා කරණ ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ ශ්‍රී ලංකාවේ සිටිතැයි විශ්වාසයක් ඇති මාටින්ස්ටයිනිගේ වැලිගොව්වා නමැති මත්ස්‍ය විශේෂය හමු නොවූ බවයි. අත්වැල්තොටින් හමුවූ සත්ත්ව නිදර්ශකයක් උපයෝගී කැර ගනිමින් මේ මාළුවා සත්ත්ව ලෝකයට හඳුන්වා දී ඇත්තේ 1998 වර්ෂයේ දී ය. එම නිදර්ශකය හැර එම විශේෂයෙන් වෙනත් කිසිදු මත්ස්‍යයකු මෙතෙක් හමුවී නැත. මේ මාළුවා පිළිබඳ දීර්ඝව සොයා බැලුව ද සොයාගත නොහැකි වූයේ වඳවී යාම නිසා යැයි සැකයක් පැවතිය ද ඒ බව ස්ථිරව කීමට තවමත් මාළුවා සොයාගත නොහැකිව ගතවූ කාලය ප්‍රමාණවත් නැතැයි ද ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
ඔවුන් සිදුකළ මේ පර්යේෂණය මෙතෙක් මෙරට එක් සත්ත්ව කොට්ඨාශයක් සම්බන්ධයෙන් සිදුකරණු ලැබූ දීර්ඝත ම පර්යේෂණයයි. 2007 වර්ෂයේ දී පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය හා එක්ව ගාලු හා මාතර දිස්ත්‍රික්කයන්හි ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘතියකින් ආරම්භ වූ මෙරට මිරිදිය මත්ස්‍යයන් පිළිබඳ සමීක්ෂණය අවසන් කර ඇත්තේ 2014 වර්ෂයේ අවසානයේ දී ය.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසන්නේ මෙතෙක් විවිධ පර්යේෂකයන් විසින් සිදුකරණ ලද මසුන් සම්බන්ධ පරීක්ෂණ දත්ත උපයෝගී කරගනිමින් හා නව පර්යේෂණ ද සිදුකරමින් ඒ ඒ මසුන් වාර්තාවන බව ට සළකුණුකැර තිබූ සියළුම ස්ථානවලට ගොස් එම තැන්වල තවමත් ඒ මාළු සිටනවා ද යන්න අධ්‍යයනය කළ බවයි. මේ අනුව ඒ ඒ සතුන්ගේ ආවේණික පරිසර පද්ධතීන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සොයාගත හැකි වූ බව ද ඒ මහතා වැඩිදුරටත් කීවේය. එමෙන් ම මේ වනවිට ලෝකයේ භාවිතාරකරණ නවීනත ම නාමකරණ දත්ත භාවිතා කැර ඇති බවත් ඇතැම් මසුන්ගේ ඝන නාමය පවා වසර කිහිපයක ඇවෑමෙන් වෙනස් වී තිබූ බැවින් අළුත් විද්‍යාත්මක නාමකරණ අනුව ශ්‍රී ලංකාවේ සියලුම මිරිදිය මසුන් හඳුන්වාදී ඇති බවත් මධුර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ හමුවන විශාලතම මිරිදිය මත්ස්‍යයා වූ වලයා සොයාගත නොහැකි වූ අවස්ථාවේ වලයා ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය සිදුකරණ ගවේෂණයට වලයා ගැන තොරතුරු අවශ්‍ය බව ලංකාදීප පුවත්පතේ පළකල විට වලයා පහසුවෙන් සොයගත හැකි වූ බව ද පර්යේෂකයෝ පවසන්නේ ස්තූති පූර්වකය.
ඔවුන් කළ මේ පර්යේෂණය දැන් පොතක් ලෙස ප්‍රකාශයට පත්කැර ඇත. ශ්‍රී ලංකාවේ සිටින මිරිදිය මසුන්ගේ වර්ණ ඡායාරූප එහි අඩංගු වෙයි. ඒ ඒ මසුන් ජීවත්වන පරිසරය, පරිසයේ ස්වභාවය හා ඒ ඒ මසුන් සංරක්ෂණය කිරීමට වෙන වෙනම ගතයුතු ක්‍රියාමාර්ග ද මේ පොතේ දැක්වෙයි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසන්නේ පොතට මුද්‍රණ අනුග්‍රහය නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් ලබාදුන් බවයි.
පොත එළිදැක්වීමෙන් පසු ජනවාරි 30, 31 හා 01 දා ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් සම්බන්ධ ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. එය මාළුන්ට ආදරය කරණ, පරිසර හිතැති කාටත් මහඟු අවස්ථාවක් වනු ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ සත්ත්වවේදීන්ට මගේ සුබ පැතුම්! ඔබගේ කාර්යය සුවිශේෂයි. ජයවේවා! (නි)
මේවා ගැන අපි හොඳ පරීක්ෂාවෙන් කටයුතු කරන්න ඕනෑ (නි)
පොත එලි දැක්වීමෙන් පසු එය ලබා ගැනීම සඳහා ලින්ක් එකක් මෙහි ප්‍රකාශයට පත් කරන්නේ නම් පින්. එසේ නැති නම් එම පොත කොටස් වශයෙන් මෙහෙ පල කිරීමට පුලුවන්ද? (අ)
නියම වැඩක්! (ර)
වළයාට වඩා ඉතා විශාලව වැඩෙන කැටල්ලා සහ කොමන් කාප් දඹුල්ලේ දී මම දැක තිබේ. කිලෝග්‍රෑම් 25 ක් වැඩුණු කැටලෙක් කන්ඩලම වැවෙන් මෑතකදී අල්ලා ගන්නා ලදී (බ)
තරුණ සත්වවේදීන්ගේ මේ උත්සාහයට මගේ උණුසුම් සුභපැතුම් !(දිල්)
තව තවත් මෙවන් කටයුතුවල නිරතවීමට ඔබලාට ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා (දිල්)
හොද වැඩක් අපේ දේ අපි රැකගත යුතුයි(දිල්)
හොඳ වැඩක්. (ර)
බැංකුවේ වැඩේ නම් හොඳයි. ඒත් පරිස්සමෙන් හොදේ. අපි දන්නා තරමින් ඔය බැංකුව අයිති ධම්මික පෙරේරා මහත්තයට. පරිසරයට වඩා බොහෝම සල්ලි වලට ආසයි. අශෝක පෙතිය ඉන්න කැලණි ගගේ කිතුල්ගල හරියේ ගඟ වනසලා බලාගාරයක් ගහන්නත් එයා හුගක් උත්සාහ කරනවා. මේ පරිසර සංවිධානයත් ඒක නොදන්නව වෙන්න බෑ (නදී)
1960-1970 දශක වලදී මම වළයා දැක ඇත. ඒ පොළොන්නරුවේ අඹන් ගඟ සහ මහවැලි ගඟේ වක්කලම් යනුවෙන් හඳුන්වන වලවල් වැනි ජලය තදින් ගලා නොබසින ස්ථාන වලදීය. මා දන්නා පරිදි ලංකාවේ විශාලම කැට් ෆිෂ් පවුලේ මත්සයා වළයා ය. මට මතක පරිදිම දුටු විශාලම වළයා අඩි හතරක් පමණ දිගය. මීට කුඩා නමුත් සමාන ලක්ෂණ ඇති වලපොත්තා අඟල් 18 ක් පමණ විශාල වේ. එමෙන්ම ලේල්ලා (මාසියර්) වළයා පමණටම විශාල වේ. මෑතකදී දිගන ප්‍රදේශයේදී මට හමුවූ ධීවරයෙක් පැවසූ අන්දමට වික්ටෝරියා ජලාශයේ කිලෝග්‍රෑම් 50 ට වැඩි බෝ කරන ලද කාප් හෝ ඊට සමාන මත්ස්‍යයෙක් දැලකට හසු වී ඇත. (නදී)
ඉතා වටිනා කාර්යයක්. ගවේෂණය කරනවා වගේම ස්ථානීය සංරක්ෂණ ප්‍රවේශයන් කරා ඉක්මනින් යා යුතුයි...
නියමයි
මහත්මයාණෙනි, මාහට ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මසුන් ග්‍රන්ථය ලබාගත හැකි ආකාරය දන්වන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
ඉතාමත් විශිෂ්ඨ කාර්යයක්. මේ සදහා දායකත්වය දුන් සැමදෙනාටම මම පුද්ගලිකව ස්තුති වෙනවා .මොකද මෙම කටයුත්ත මීට පෙර සිදු වුණානම් මීටත් වඩා හොදයි.එහෙම නම් අපට මගහැරනු තවත් වීශේෂ කිපයක් සොයාගැනිීමට තිබුනා.හැබැයි අපි මෙතනින් නැවතුනොතින් ඔබතුමන්ලගේ කාර්ය පල රහිත වෙනවා මේ හදුනාගත් මත්ස්‍ය විශේෂයන් විනාශ වී යාමට පෙර තොරාගත් කෘතිම පරිසරයක හෝ අභිජනනය කරමින් පවත්වාගෙන යා යුතුයි.ඒ සදහා naqda,nara වැනි ආයතන වල සහාය හා එම ආයතන වල සම්පත් ප්‍රයෝජනයට ගතහැකී.අප රටේ වර්තමාන තත්වය ඊට බෙහෙවින් බල පෑමට පුලුවන්.උදාහරණයක් ලෙස මෙම විදුලි අර්බුදයට පිලියම් සොයමින් සිටින අවස්ථාවේ කුඩා ජල විදුලි බලාගාර පුද්ගලිකව ඉදිකිරීමට අවසරයක් ලැබුනොත් ඉන් මෙම මත්ස්‍යයින් ගේ වාසබූමි වලට සිදුවන හානිය මම ඔබතුමන්ලාහට කියයුතු නෙවේ.