(යොහාන් භාසුර)
ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝහි ඉලිනොයි සරසවියේ සේවය කරන ශ්‍රී ලාංකීය පර්යේෂකයෙක් වන ආචාර්ය කස්සප ඇල්ලෙපොල මහතාට දන්ත වෛද්‍ය පර්යේෂණ නවෝත්පාදනය වෙනුවෙන් අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය සම්මාන පිරිනැමීය.
කොලොම්බියාවේ බොගෝටා නගරයේ පැවති අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමයේ 101 වන සමුළුවේදී කස්සප මහතාට සම්මානය ප්‍රදානය කළේය.
ආචාර්ය ඇල්ලෙපොල මහතාගේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 50000 ක මුදලක් හෙලියොන් සමාගමේ මුල්‍ය පරිත්‍යාගයෙන්, අන්තර්ජාතික දන්ත වෛද්‍ය පර්යේෂණ සංගමය එහිදී පිරිනැමීය.
ආචාර්ය ඇල්ලෙපොල මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර කැළණිය සරසවියේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිධාරියෙකි. ඔහු සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ලුවිසියානා ප්‍රාන්ත සරසවියෙන් සහ චිකාගෝහි ඉලිනොයි සරසවියෙන් පශ්චාත් ආචාර්ය උපාධිය ලැබීය.
ආචාර්ය ඇල්ලෙපොල මහතා සහ ඔහුගේ උපදේෂක මහාචාර්ය රසල් පෙසවෙන්තෝ එක්ව නිපදවු නව නැනෝ සංයෝගයක් වෙනුවෙනි. මෙම නැනෝ සංයෝගය ඌන ඛේටය ශ්‍රාවය නිසා හටගන්නා වියළි මුඛ කුහරයක් සහිත රෝගීන්ට ඛේටයේ ජෛවරසායන ක්‍රියාකාරීත්වය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට උපකාර වෙයි.
විශේෂයෙන්, විකිරණ චිකිත්සාව සහ රසායන චිකිත්සාවට ලක්වන පිලිකා රෝගීන් අතර ඌන ඛේටය ශ්‍රාවය හේතුවෙන් බහුලව සහ දිගුකාලීනව වියළි මුඛයන් දක්නට ලැබේ. මෙම රෝගීන්ගේ ඌන ඛේටය ශ්‍රාවයට අමතරව, ඛේටයේ වැදගත් සංඝටකයන්ගේ ක්‍රියාකාරීත්වය අවම මට්ටමක පවතී. මේ නිසාවෙන් ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය දැඩි ලෙස අවදානමට ලක්වන අතර, කථනය, ආහාර ගිලීම, මුඛය තුළ කෘත්‍රීම සවිකරීම් රදවා ගැනීම අපහසු කරන අතර නිරතුරුව දන්ත කුහර ඇතිවීම, දිලීර ආසාදන සහ මුඛයේ තුවාල හටගැනීමට හැකිය.
වියළි මුඛයන්ට ප්‍රතිකාර කිරීමට දැනට පවතින ක්‍රමවේද එතරම් සාර්ථක නොවන අතර, එම ක්‍රමවේද ඛේටයේ ජෛවරසායන ක්‍රියාකාරීත්වය ප්‍රතිස්ථාපනය කිරීමට අපොහොසත් මෙන්ම අතුරු ආබාධයන් ඇතිවිය හැකිය.
“අප නිපදවූ නව නැනෝ සංයෝගයෙන් මෙම තත්වයන් මගහරවන අතරම, ඛේටයේ බැක්ටීරියානාශක, දිලීරනාශක සහ ප්‍රතිඔක්සිකාරක හැකියාව ප්‍රතිස්ථාපනය කරමින්, දිගුකාලීන මුඛ සෞඛ්‍ය ආරක්ෂාවක් ලබා දීමට හැකියි” යැයි ආචාර්ය ඇල්ලෙපොල මහතා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම් වෛද්‍යතුමනි...
සුපිරියි..!
මගේ හදවතින්ම සුබපැතුම් එක්කරමි... ශ්‍රී ලාංකිකයකු වීම ගැන ආඩම්බර වෙමි...
ලංකාවට අහිමි වුනා තවත් සුපිරි මොලයක්
ඇත්තටම මට ඔබ ගැන ආඩම්බරයි ඒ වගේම සුභ පැතුම්