(යොහාන් භාසුර)

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 24 න් යානා 11 ක් ඉදිරි වසරක කාලය තුළ අඩුවන බවත් ගුවන් යානා සංඛ්‍යාව අඩුවුවහොත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ තරග කළ නොහැකි බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානා 24 න් ගුවන් යානා අටක ධාවන කාල සීමාව ලබන වසරේ (2023) අවසන් වන බවත් වර්තමාන දෛනික කාලසටහන පවත්වාගෙන යෑමට ගුවන් යානා ලබාගැනීම අනිවාර්ය බවත් එම සංගමය කියයි.

වාණිජ ගුවන් යානා කීපයක් එකවර ලබාගැනීම ක්‍ෂණිකව කළ නොහැකි නිසා නියමිත කාලසීමාවට පෙර ඇනවුම් කිරීමෙන් වෙළෙඳපොල වාසිය ලබාගත හැකි බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා ලබාගැනීමට සූදානම් වීමට එල්ල වන චෝදනා පිළිබඳව කරුණු දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය එසේ පවසයි.