(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සිය යෝජනා ඊයේ් (11) ඉදිරිපත් කළේය.
එම විශේෂ කාරක සභාවට පෙරේදා යෝජනා ඉදිරිපත් කරනු ලැබු සෙසු දේශපාලන පක්ෂ වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය,ලංකා කම්කරු කොංග්‍රසය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මුස්ලිම් ජාතික පෙරමුණ ,ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සහ අරුණළු ජනතා පෙරමුණයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිශ්‍ර මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන්නේය.
විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යෑම අත්‍යාවශ්‍ය වුවද ජනාධිපතිධූරයට ද්විත්ව පුරවැසියන් පත්වීම වළක්වාලීමට නිසි ක්‍රමවේද සැකසිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට ඇති හැකියාවත්, පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය එකම දිනෙක පැවැත්වීමට ඇති හැකියාවත් විශේෂයෙන් සොයා බැලිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පළාත් සභා බලය විමධ්‍යගත කිරීමේදී දිස්ත්‍රික් සභා ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවද ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේය .
දේශපාලන පක්ෂ සන්ධාන ගත වීමේදී ඊට අදාළ අවබෝධතා ගිවිසුම් ඇතුළු ලේඛන මැතිවරණ කොමිෂන් සභාවට ලබාදීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව එක්සත් ජනතා නිදහස් සංධානය වෙනුවෙන් අදහස් දැක් වු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී කීවේය.
මැතිවරණවලදී සෑම පක්ෂයකටම සාධාරණ ප්‍රචාරණ අවස්ථා පැවතිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරණ වියදම් අවම කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය යුතු බවයි.
මුදල් වියදම් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමේ ප්‍රවණතාවක් පවතින හෙයින් එම තත්වය පාලනය කිරීම වෙනුවෙන් පුළුල් අවධානයක් යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් කාරක සභාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය තිස්ස විතාරණ මහතා පැවසුවේ, සියලු ජන කොටස් වල අයිතීන් ආරක්ෂා වන පරිදි නව මැතිවරණ ක්‍රමවේදයක් රටතුළ ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බවයි.
රාජ්‍ය දේපළ අවභාවිත කිරීම වැළැක්වීමේ වැදගත්කමද මහාචාර්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂාවන පරිදි මැතිවරණ ක්‍රමය පැවතිය යුතු බව ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
වතු කම්කරු ජනතාවගේ නියෝජනය තහවුරු කළ යුතු බවද ඔවුහු පැවසූහ.
කාරක සභාවේදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජිතයන් පැවසුවේ නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම ඉතා වැදගත් බවයි.
විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කර, පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කළ යුතු බවද ඔවුහු යෝජනා කළහ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාද කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු පැවසුවේ දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට නව ප්‍රතිසංස්කරණවලදී පුළුල් අවධානයක් යොමු කළ යුතු බවයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මීලඟ රැස්වීම ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණධීර මහත්මිය පැවසුවාය.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.එල් පීරිස්, එම්.යූ.එම් අලි සබ්‍රි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරුන් ද මැතිවරණ කොමිෂන් සභාව,සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු කරුණු අතර පරස්පර අදහස් මතුව ඇත. විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යෑම අත්‍යාවශය බව SLFP ප්‍රකාශ කලද වාමාංශික පක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදහස් ඉදිරිපත්ව ඇත. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එකම දිනකදී පැවැත්වීමට ඇති හැකියාව ඉතාමත්ම වැදගත්වේ. ඉදිරි මැතිවරණයේදී එසේ කිරීමට හැකිනම් නවකයන් කණඩායම් පාර්ලිමේන්තුවට පත්වීමේ හැකියාව ඉහලය. මේ වනවිට ජනතාවට දේශපාලනය එපාවී තිබේ. ඔවුන් විකල්පයක් සොයමින් සිටි. විකල්පයක් සොයමින් සිටියද රටට සැබෑ වෙනසක් ( දේශපාලනමය සහ පරිපාලනමය ) සිදුකිරීමට නම් ජනතාවට දුක්ක සත්‍ය අවබෝද විය යුතුය. ඔවුන්ටම එසේ අවබෝද වීමට අවස්ථව ලබා දිය යුතුව ඇත. වෙනත් කිසිවකු මගින් එය ජනතවට අවබෝද කර දීමට හැකියාවක් නැත. කිරීමෙන් පලක් නොමැත. රටේ ජනතාවට සිතන්නට අවස්ථාවක් ලබා දියයුතුවේ. මෙතෙක් ඔවුන් දැක තිබෙන, අත්දැකීම් තිබෙන දේශපාලනය වෙනස් කල යුතු බව ඔවුන් තීරණය කරන කාලය වැඩි ඇත නොමැත. මේ වනවිටත් ජනතාව තරුණ කොටස් ඒ සඳහා අදහස් ඉදිරිපත් කරමින් සිටි.
රට තුල විසදා ගත යුතු අර්බුධ ජාත්‍යන්තරයට ගෙන යාම නිසා රටට කිසිදු වාසිය අත්වන්නේ නැත. ලෝකයෙන් අපට ලැබිය යුතු ප්‍රතිලාබ නොලැබී යාම හැර වෙනත් දෙයක් සිදු නොවේ. වර්තමානයේ සිදුවෙමින් පවතින්නේද එය වේ අවසානයේ සිදුවන්නේ රට කෙමෙන් විනාශවීම පමණි. මේ වනවිට ලෝකය ලංකාව වෙත දක්වන ආකල්පය කිසි සේත්ම අපට සහගත නොවේ. අප ලෝකය සමග එක්ව ගමන් කල යුතුව ඇත. ලෝකයේ දියුණු රටවල් බලවත් රටවල් අප එනතුරු බල සිටින්නේ නැත. අප ඔවුන් සමග එක්ව කටයුතු කල යුතුවේ. ලංකාවේ ප්‍රශ්න නොවිසඳා වෙනත් රටවලට දෝෂා රෝපණය කිරීමෙන් පලක් නොමැත. දේශපාලකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් නිසා රටම වන්දි ගෙවිය යුතු නොවේ. සුනාමියෙන් පසු රට දියුණු කිරීම සහ යුද්ධයෙන් පසු රට දියුණු කිරීම අවස්ථා දෙකක් අපට මග හැරුණි. කොවිඩ් වලින් පසුව තිබෙන අවස්ථාව මග නොහැර රටට වෙනසක් ලබාදීමට කට යුතු කිරීම සියලු දෙනාගේම වගකීමකි. එසේ නොවන්නට ඉදිරි දදශක 7ක කාලයත් මේ ආකාරයට ගෙවී යනු ඇත.