(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමුහා ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා එකී දෙපාර්ශ්වය විසින් එකඟතාවකට පැමිණ ඇත. දෙරට අතර ආයතන ප්‍රධානීන් හා නිල නියෝජිතයින් මට්ටමින් සිදු කරන සාකච්ඡා හා සංචාර සඳහා පහසුකම් සැලසීම, වැදගත් නිල තොරතුරු හා බුද්ධි තොරතුරු හුවමාරුව, සක්‍රීය හා සාධනීය ප්‍රවේශයක් ඔස්සේ දෙරටේ ව්‍යාපාරික, ආයෝජන, සංචාරක, තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍ර වල නියැලෙන පුරවැසියන් විෂයයෙහි බලපාන්නා වූ විසා, ආගමන හා විගමන කටයුතු ආදිය පිළිබඳව පහසුකම් සැපයීම, සංවිධානාත්මක අපරාධ වශයෙන් සැලකෙන තැනැත්තන් වෙළදාම හා ජාවාරම් කිරීම සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවරයන් ගැනීම සහ නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ධාරිතා සංවර්ධනය සඳහා වැඩමුළු සංවිධාන කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් අපේක්ෂා කරනු ලබයි. යෝජිත කෙටුම්පත් ගිවිසුම සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ නීතිපතිගේ නිෂ්කාශන ලබාගෙන තිබේ. 

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.