(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර පල්ලකැලේ පොලිස් වසමට අයත් කුණ්ඩසාලයේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ වසර හයසියයක් පමණ පැරණි මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පාෂාණයකින් තනන ලද සඳගල නමින් හැඳින්වෙන මල් ආසනයක් හොරාගෙන ගෙන යෑමට ආධාර අනුබල දුන් බව කියමින් පුද්ගලයන් දෙදෙනකු කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි.

සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහනුවර හීරැස්සගල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයකු සහ දික්වැල්ල පාර දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයකු බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ රහස් පොලීසියේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසිනි.

සඳගල නමින් හැඳින්වෙන මෙම මල් ආසනය පිහිටා තිබූ භූමිය සෙංකඩගල රාජධානියේ අවසාන සිංහල රජු වන ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ ගමන් මාලිගය පිහිටි වසර 600 ක් පැරණි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බව කුණ්ඩසාලයේ පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් කුණ්ඩසාලයේ පොලිසියට  කළ පැමිණිල්ලේසඳහන් කර ඇත.

දොඹකරයක් සහිත වාහනයකින් පැමිණි කණ්ඩායමක් මෙම සඳගල පුරා ගෙන ගොස් තිබුණේ පසුගිය දෙසැම්බර් මස දහතුන් වෙනි දා රාත්‍රී කාලයේදීය.

පොලිස්පති සීඩී වික්‍රමරත්න ම ඩී වික්‍රමරත්න මහතා විසින් මෙය සොරා ගෙන යාම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට භාරදී තිබිණි.

මෙය හොරා ගෙන ගිය අය ගැනතොරතුරු අනාවරණය කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන සොරාගත් සඳගලසොයා ගැනීමට රහස් පොලිසියේ සමුහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.