(අංජුල මහික වීරරත්න)

මෝටර් වාහන පනතේ විධි විධාන යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම මෝටර් වාහන සඳහා නිකුත් කරනු ලබන අංක වලින් ඉදිරියට අංක 50000ක් දක්වා වන විශේෂ අංක වෙන් කරවා ගැනීමට අදාළ ගාස්තු සඳහා අදාළ වන නියෝග 2023-10-05 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

 එම නියෝග සංශෝධනය කරමින් මෝටර් සයිකල්, මෝටර් ට්‍රයිසිකල් සහ මෝටර් ට්‍රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහන සඳහා නිකුත් කරනු ලබන අංක වලින් 50,000 න් ඉදිරියට 100,000 ක් දක්වා විශේෂ අංක වෙන් කිරීමට හා එම එක් අංකයක් වෙනුවෙන් රුපියල් 1,000,000 ක ගාස්තුවක් අය කිරීමට හැකි වන පරිදි නෛතික ප්‍රතිපාදන සැලසීම පිණිස අංක 2470/14 හා 2026-01-05 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ඒ අනුව, එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.