
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දෙවන ලෝක යුද සමයේ භාවිතා කළ බව කියන උණ්ඩ තොගයක් රත්මලාන බොරුපන බිහිරි විද්‍යාල භූමියේ වළදමා තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
එහි තිබී එම උණ්ඩ 1,770 ක් සොයා ගැනීමට හැකි වී ඇත.
එම විද්‍යාලයේ ගුරුවරයකු පාසලේ දරුවන් සමඟ කසල දැමීම සඳහා වළක් කපමින් සිටියදි බිස්කට් දවටන දෙකක ඔතා තිබූ එම උණ්ඩ තොගය මුලින්ම දැක ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරුව ඒ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනියට දැනුම් දීමෙන් අනතුරුව ඇය විසින් 119 දුරකථන මධ්‍යස්ථානය මගින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අඩි තුනක් පමණ ගැඹුරකින් යුත් එම වලේ උණ්ඩ තිබී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව තවත් උණ්ඩ එමවලේ ඇද්දයි සොයා බැලීම සඳහා කළුබෝවිල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ව දැනුවත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදු කළ පරික්ෂාවේදී තවත් උණ්ඩ තොගයක් එම වලේ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
COMMENTS
ඔය බොරු ගම් දාන්නේ ඇයි ඔය පාසල තියෙන්නේ ගොළුමඩමේ බොරුපන පාර අයිනයි ගපාරට මුහුණලා බොරුපන තව කිලෝමීටර් ගාණක් යන්න ඕන නිවරදි කරන්න.