(හේමන්ත රණසූරිය)

කැබිතිගොල්ලෑව  විහාර හල්මිල්ලෑව ගමේ "මහ කාඩිගල" වැව යටතේ ඇති කුඹුරු යායට  පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුරු යායේ  විමුක්ති ගොවි සංවිධානය පවසයි.

විහාරහල්මිල්ලෑව ගමේ කනත්ත අසලින් කාඩිගල කුඹුරු යායට දුර කිලෝමීටර් දෙක හමාරක් පමණ ඇති බවත්, එම මාර්ගය ගොවීන් විසින් හැකි අයුරින් සකසා ගෙන ඇතත්, රාජ්‍ය අනුග්‍රහයෙන් කිසිකලක එම කුෂි මාර්ගයට අත් උදව්වක් "උපන්තේකට" ලැබී නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම කුඹුරු යායට සීසෑමට සහ අස්වැන්න රැගෙන ඒමට ට්‍රැක්ටරය සහ භූතයා කොල මඩින යන්ත්‍ර රැගෙන යෑමේදී මඩේ එරෙමින් තමන් දුක් කම්කටොළු රාශියකින් බැට කන බව එම ගොවීහු කියති.

අක්කර හැටකට වැඩි කුඹුරු යායක් අස්වද්දන තමන්ට කෘෂි මාර්ගයක් සකසා දෙන මෙන් සිය දහස් වාරයකට වැඩියෙන් ප්‍රදේශයේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත්, මේ දක්වාම එය ඉටුකරදී නොමැති බවද විහාරහල්මිල්ලෑව විමුක්ති ගොවි සංවිධාන නියෝජිතයෝ පැවසූහ.

මේ සම්බන්ධයෙන්  කැබිතිගොල්ලෑව ගොජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරිණි ලක්මිණි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ ඇය එම තනතුරේ වැඩ බාරගෙන සතියකටත් අඩු කාලයක් වන බැවින් ඒ පිළිබඳව දැනට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.