ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්  නොවූව ද රජයේ  ඇතැම් සේවකයන්ගේ  නොසැළකිලිමත්කම ඩෙංගු බෝවීමට අවශ්‍ය පරිසරය හැදෙතියි ඩෙංගු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති රැස්වීමේ දී අනාවරණය කැරිණි.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කඩවත්-සතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රියානි ජයසූරිය මහත්මිය කියා සිටියේ ගාල්ලේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමේ දී එවැනි තැන් පවත්වාගෙන යාම වැඩිපුරම සිදුකරන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු රජයේ සේවයේ නිරත පුද්ගලයන් හා ආගමික ස්ථාන වලින් වීම ඉතා ඛේදජනක තත්ත්වක් බවයි.

‘ ගාල්ල කොටුවේ පසුගිය වසරේ ඉතා විශාල ඩෙංගු අවදානමක් තිබුණා. මේ නිසා අපි ගාලු කොටුවට විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.  කියන්නත් කනගාටුයි මේ ප්‍රදේශවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නේ නූගත් හා දුප්පත් ජනතාව නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා කරන්නන් ඇතුළු රජයේ සේවකයන්. ඔවුන් තමන්ට ලබා දෙන උපදෙස් සළකන්නේ නැහැ. “

ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස විස්සෙන් ඩෙංගු යැයි සකකරනු ලබන රෝගීන් 851 දෙනකු වාර්තා වූ බවත් පූර්ණ ඩෙංගු පරීක්ෂාවෙන් තහවුරු ඩෙංගු රෝගීන් බවට ස්ථිර ලෙස ම තහවුරු කරගත් සංඛ්‍යාව 472ක් බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා කියා සිටියේ ජනවාරි මාසයේ ගාල්ලෙන් ඩෙංගු රෝගීන් 58ක් වාර්තා වුව ද මැයි මාසයේ වාර්තා වූයේ රෝගීන් 42ක් පමණක් බවයි.

 ‘‘ මැයි මාසයේ රෝගීන් වාර්තා වීම අඩු වුණත් අපි දන්නවා සාමාන්‍යයෙන් ජුනි ජූලි හා අගෝස්තු මාසවල දී ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව පුරාම වසංගත තත්ත්වයකට හිස ඔසවනවා. ඒ නිසා මේ කාලයේ දී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට අපි හැමෝම වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. වැසි සහිත කාලගුණය නිසා පුංචි කොළයක වුණත් මදුරුවාට බෝවෙන්න හැකියාව තිබෙනවා.“

ඔවුන් පවසන්නේ ඉදිකිරීම් වැඩබිම්වල හා ආගමික ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බහුලව දක්නට ලැබෙන බවයි.