(රංජිත් රාජපක්ෂ )                      

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතු යායේ පහත්බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස 30 ක් පමණ ජලයෙන් යට වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

පොඩයිස් වතුයාය හරහා කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන්  ඇළ ආසන්නයේ පිහිටි වතු නිවාස සහ හැටන් පොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ පොඩයිස් වත්ත කොටස වැසි ජලයෙන් යට වි ඇත.

දික්ඔය ඇළ පිටාර ගැලිම නිසා ඇළ අසල පිහිටි වතු නිවාස වලට අඩියක පමණ වැසි ජලය කාන්දු වු බව වතු කම්කරුවන් කියා සිටියේය.

අළෙහි ජලය පිටාර ගැලිමෙන් වතු නිවාස වලට කාන්දු වු ජලය ඉවත් කිරිමට වතු කම්කරුවන් පියවර ගෙන තිබේ.

දික්ඔය ඇළ මිට ප්‍රථම අවස්තා කිහිපයකදි වැසි ජලය නිසිලෙස බැසයාමට ප්‍රතිසංස්කරණය කල බවත්, යලිත් එම ඇළ ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගන්නා බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

මේ අතර නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශයට වසර හයකට පසු අයිස් වැස්සක්ද පතිත වු බව නුවරඑලිය මිපිලිමාන ප්‍රදේශවාසින් පැවසිය.