(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )

මහ වැසි ,තද සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් කළුතර  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක නිවාස 15 කට අර්ධ හානි සිදුවී ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඊයේ (27) දහවල් කීය.

ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රයිගම නැගෙනහිර ,රේරුකාන හා ඇලෝතියාව  , කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුපිටිය බටහිර ,පනාපිටිය උතුර , ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැකුළදොල හා ඉංගිරිය බටහිර ,මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙසෙල්හේනාව ,වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත බටහිර දකුණ අරකාවිල  හා මිරිස්වත්ත , දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමගොඩ බටහිර ,බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලපිටිය ,දියලගොඩ සහ මහ පයාගල යන ග්‍රාම නිලධාරි වසම්වල මෙම නිවාස අර්ධ හානි සිදුවී තිබේ .

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 14 කට අයත් සාමාජිකයින් 57 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද කළුතර දිසා ලේකම්වරයා කීය.

මුහුදුබඩ දුම්රිය මාර්ගය මතට අළුත්ගම  - හෙට්ටිමුල්ල සහ උතුරු පයාගල  - කටුකුරුන්ද යන දුම් රිය ස්ථාන අතර ගස් කඩා වැටීම් සිදුව තිබූ අතර ඊයේ (27) උදේ සියළුම  දුම්රිය පැය 3 ක් පමණ ප්‍රමාදවී ධාවනය වූ බව දුම් රිය බලධාරිහු කියති .