(සුජිත් හේවාජුලිගේ)

වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා සැමරීමට රජය තීරණය කර ඇත.

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව  දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව වෙසක් උත්සවය උත්කර්ෂවත් අයුරින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 27 මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

රාජ්‍ය වෙසක් උත්සවය හා ඊට සමගාමීව දිවයින පුරා පවත්වනු ලබන වෙසක් සමාරම්භක වැඩසටහන් (මැයි 27), සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තේමාව යටතේ වැඩසටහන් පැවැත්වීම ( මැයි 28), සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්(මැයි 29) සීල භාවනා පින්කම්(මැයි 30) භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන්(මැයි31)  ආගමික සංවර්ධන වැඩසටහන( ජුනි 1)සහ  ක්ලීන්  ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා ශ්‍රමදාන ( ජුනි මස2)  වෙසක් සතියේදී ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.