(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම්  ඇමැතිවරුන්ද  සිටින බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද  (26) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ  පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

විස පොහොර නිදහස් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා   සිටි සාකච්ඡාවකදී බවත්   මේ  විස පොහොර තොගයේ ආසනික් කිලෝග්‍රෑම් එකකට මිලි ග්‍රාම් 38 තිබෙන බවත් මන්ත්‍රීවරයා  සඳහන් කළේය.ලෙඩ් කිලෝවකට මිලි ග්‍රාම් 49ක් තිබී සොයාගත්  බවද ඔහු පැවසුවේය.

මේ ජාවාරමට  සම්බන්ධවුණු ඇමතිවරුන්, නිලධාරීන්  ගණනාවකගේ මල්ල තරවූ බව පැවසූ දිසානායක මහතා ආණ්ඩුවේ කාබනික විප්ලවයේ අවසන් ප්‍රතිඵලය මෙය බවද  සඳහන් කළේය. මේ පොහොර ප්‍රමිතියෙන් තොර බවද  දිසානායක මහතා   පැවසුවේය.

කාබනික පොහොර ගැන තිබූ ඉතාමත් පැහැදිලි නිරවුල් විශ්වාසය  මේ වැඩපිළිවෙළ නිසා විනාශවූ බවත් රටේ කෘෂිකර්මාන්තය  මෙම අර්බුදය නිසා
අගාධයකට ඇද වැටුණු බවද අනුර කුමාර දිසානායක මහතා කීවේය.

රටේ ආර්ථික විනාශය පිටුපස සිටින්නේ  පී. බී ජයසුන්දර   බව පැවසූ  හෙතෙම  අද රටේ සිටින්නේ පී බී ජයසුන්දර පිටුපස නැටවෙන  ජනාධිපතිවරයකු බවද   සඳහන් කළේය. ඒ වගේම රටේ ඉන්නේ පී බී ජයසුන්දරගේ ඕනෑ එපාකම් අනුව කටයුතු කරන අගමැතිවරයකු  බවද ඔහු කීවේය.

පීබීගේ එකම සුදුසුකම  පවුලකට සල්ලි දෙන එක යැයිද  පවුලේ අය සල්ලි ඉල්ලුවම ඔහු කොහෙන් හරි හොයා ඒ මුදල් ලබා දෙන්නේ යැයිද  හෙතෙම  පැවසුවේය.

ඔහු රටේ අනෙක් ප්‍රශ්න ගැන නොබලන බවද  දිසානායක මහතා පැවසීය. මේ ගනුදෙනු පිටිපස ජයසුන්දර සිටින බවත් ඔහු මෙම පොහොර  ගෙන්වීම සම්බන්ධයෙන් මහජන බැංකුවට අවස්ථා දෙකකදී කතා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.