(අංජුල මහික වීරරත්න)

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැලැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය  ව්‍යාප්ත වීමේ ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වු අතර එය වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව  සාකච්ඡාවට ලක් විය.