
(අංජුල මහික වීරරත්න)
රට පුරා මහා ආරක්ෂක වළල්ලක් ලෙස කටයුතු කරමින් විෂ මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමට පෙරට එන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේ දී ජනතාවට ආරාධනා කළේය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි දරුවන් පුනරුත්ථාපනයට බාර දෙන්නැයි කී ජනාධිපතිවරයා නැවත රට අපේක්ෂා කළ දරුවා බාර දෙන්නම් යැයි ජනාධිපතිවරයා එහිදී පොරොන්දුවක් ලබා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට අද (16) පස්වරුවේ එක්වෙමිනි.
වැටලීම් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දුන් උතුරු පළාතේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රටම එකට ජාතික වැඩසටහන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනක් පමණක් නොව, ඊට ගොදුරු වූ දරුවන් පුනරුත්ථාපනය කර හොඳ වෘත්තීය පුහුණුවක් ලබා දී ගමට, රටට වැඩදායී පුරවැසියෙක් බවට පත් කරන ජාතික වැඩසටහනක් බවයි.
දකුණේ මෙන්ම උතුරේ ජනතාවටද එක ලෙස පිළිගත හැකි විශ්වාසනීය ආණ්ඩුවක් පළමු වතාවට රටේ ගොඩනැගී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා බලය අහිමි වී තිබෙන ජාතිවාදී කණ්ඩායම් කුඩා, කුඩා තැන්වල යළි ජාතිවාදය ඇවිළවීමේ උත්සාහයක නිරත වුවද, කිසිදු ජාතිවාදී ප්‍රවණතාවකට යළි රට තුළ හිස එසවීමට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.
එමෙන්ම උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් පසුගිය වසරේ රුපියල් මිලියන 5,000ක් වෙන් කළ බවත්, මේ වසරේද විශාල මුදලක් වෙන් කර තිබෙන බවත් පැවසූ ජනාධිපතිවරයා එම මුදල් නිසි ලෙස භාවිත කරමින් ජනතාවට එම සංවර්ධන ප්‍රතිලාභ හිමි කර දීමට මැදිහත්වන ලෙසද දේශපාලන අධිකාරියෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd