(ඩයනා උදයංගනී)

විශ්‍රාමයෑමේ වයස අවුරුදු 60කට අඩුකිරීමේ තීරණය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනකු විශ්‍රාමයාමට නියමිත බවත්, ඒ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවත් උග්‍ර වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

විදේශීය පුහුණුව නිම කර ලබන වසරේදී මෙරටට නැවත පැමිණෙතැයි අපේක්‍ෂිත විශේෂඥ වෛද්‍යවරුන් 299 ක ප්‍රමාණයෙන් මෙම හිඟය සපුරාගැනීමට හැකි බවට ඇතැමුන් අදහස් දැක්වූවත් එය එසේ නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනා ජනවාරි මස මෙරටට නොපැමිණෙන අතර එය වසර පුරාම සිදුවන ක්‍රියාවලියක් වන අතර, රටේ වත්මන් තත්වය අනුව එම සියලුම වෛද්‍යවරුන් නැවත මෙරටට පැමිණීම ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම එම වෛද්‍යවරුන්ගෙන් ද යම් ප්‍රමාණයකට විශේෂඥ වෛද්‍ය පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා මෙරටදී යම් කාලයක් පුහුණු කළ යුතු බැවින් පැමිණි විගස ඔවුන් වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස හෝ පත්කළ නොහැකි බවත්,ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.