ඉගෙනුම ලබන පන්ති කාමරය තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයට ගෙන යෑම  නිසා තුන් මාසයක් පාසල් නොයා සිටි ප්‍රශංෂා ලක්මිණී (13) නම් ආබාධිත සිසුවියට සාධාරණයක් කරන බවත්, පන්ති කාමරය පහළට ගෙන එන බවත් විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය අද (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පොරොන්දු වූවාය.

එම සිසුවියට වූ අසාධාරණය හා තුන් මාසයක් තිස්සේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි වීයැයි කියමින් ඇගේ පියා ඩබ්ලිව් අමිත සුදර්ශන සහ මව චමිලා සුභාෂිනී මුණසිංහ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

දරුවාගේ මව සහ පියා වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද, විශාඛා විදුහල්පතිනිය ද, පාසල් සංවර්ධන සමිතියේ නියෝජිතයෙක් ද මානව හිමිකම් කොමිසමට පැමිණ සිටියහ.

කොමිසමේ විමර්ශන නිලධාරියකු ඉදිරියේ එම පෙත්සම කැඳවූ අවස්ථාවේ දරුවා වෙනුවෙන් පන්ති කාමරය පහළ මාලයට ගෙන ඒමටත්, තුන් මාසයක් තිස්සේ අතපසු වූ පාඩම් කියා දීමටත්, දරුවාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැපයීමටත් විදුහල්පතිනිය එකඟ වූ බව කොමිෂන් සභා ආරංචි කියයි.

මෙවැනි දරුවන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශයක් අධ්‍යාපන නිලධාරීන්ට නිකුත් කරන්නැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

මෙම දැරියට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ලංකාදීපය පසුගිය පාසල් වාරයේ දී මුලින්ම වාර්තා කළේය.

001 002 IMG_20150421_123927