(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
 

සෙවනගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  කිරිඉබ්බන් වැව් තාවුල්ලේ සමගිපුර ඉඩමක හොර රහසේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය තොගයක්  නැවත ගොඩගෙන   වෙනත් ස්ථානයකට  රැගෙන යමින් සිටි ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙම  රෝහල්  අප ද්‍රව්‍ය තොගය ගොඩ ගෙන  කියුබ් හතරේ ටිපර්  රථ හතරකින්  මීගහජදුර ප‍්‍රදේශයේ කැලෑවකට  රැගෙන යාමට උත්සාහ කර ඇති අතර  ප්‍රදේශවාසීන්ගේ විරෝධතා මැද ටිපර් රථ දෙකක් එතැනින් පිටත්ව ගොස් අනික්  ටිපර් රථ දෙකක් පමණක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපද්‍රව්‍ය මාස දෙක තුනකට පෙර මෙම ස්ථානයේ වළ දමා තිබු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මේ වන විට එම ටිපර් රථ දෙක  සෙවනගල පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා ඇති අතර ඉන් වහනය වන දුර්ගන්ධය ඉවසිය නොහැකි බව ඒ අවට ජනතාව කියති.

විදුහල්පතිවරයෙකු බව කියන පුද්ගලයෙකුට අයත් සමගිපුර පිහිටි අක්කර තුන වපසරියෙන් යුත් ඉඩමක මෙම  අපද්‍රව්‍ය වළ දමා තිබී ඇත. එම විදුහල්පතිවරයා  යැයි කියන පුද්ගලයා සහ  තණමල්විල ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරන දේශපාලනඥයෙන් පිරිසක් පැමිණ අපද්‍රව්‍ය තොගය ගොඩගන්නා විට  ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය දැක්වීමත් සමඟ  පරිසර අධිකාරියේ නිලමුද්‍රා සහිත වූ ලිපියක්  ප්‍රදේශවාසීන්ට පෙන්වා  අපද්‍රව්‍ය ගොඩගෙන ටිපර් රථවලට පටවා මීගහජදුර ප‍්‍රදේශයට ගෙනගිය යාමට උත්සාහ කර තිබේ.

වළදමා තිබූ රෝහල් අපද්‍රව්‍ය බැකෝ යන්ත‍්‍රයක ආධාරයෙන්  ටිපර් රථ හතරට,  පටවා ඇති අතර ඒ වළ අවට සහ ටිපර් රථය ගමන් ගත් මාර්ගයේ එන්නත් කටු, සිරින්ජර් වැනි ප්ලාස්ටික් ද්‍රව්‍ය වැටී තිබෙනු දැක ගතහැක. වැසි තත්ත්වයක් ඇති වුවහොත් ඒවා කිරිඉබ්බන් වැවට ගසාගෙන යාමේ දැඩි අවදානමක් පවතී. මේ දිනවල ප‍්‍රදේශයේ අහස ද බීරුමෙන් යුතුව පවතී.
 
අඩි පනහක දිගින් සහ පළලින් යුතු  වළක මෙම අපද්‍රව්‍ය තිබී ඇති අතර ඒවා ගෙන යාමෙන්  පසු ඒ වළවල් ජලයෙන් පිරී ඇත. කිරිඉබ්බන් වැවේ ජල සීමාවට මීටර් දෙසීයක පමණ දුරින් ඒ වළ පිහිටා තිබේ. කිරි ඉබ්බන් වැවේ ජල මට්ටම ඉහළ ගියහොත් හෝ වැසි ඇදහැලූණොත් ඒ වළේ ඇති රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර ජලය කිරිඉබ්බන්වැවට මුසුවීමේ දැඩි අවදානමක් පවතී.
 
කිරිඉබ්බන්වැවට ගලාඑන කලූආරට මෙම වළේ සිට මීටර් දෙකතුනකට වඩා දුර නැත. මේ සම්බන්‍ධයෙන් විදිමත් පරික්‍ෂණ තවමත් ක‍්‍රියාත්මක නැති බව පවසන ප‍්‍රදේශවාසීන් කිරි ඉබ්බන්වැවට මේ ජලය මුසුවීමට පෙර වහා මැදිහත් වන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. වැවේ ජලය පරිභෝජනය කරන වැසියන් දහස් ගණනක් වගාකටයුතු කරන ගොවිබිම් විශාල ප‍්‍රමාණයක ඇති බවද කියති.

මෙම ඉඩමේම තවත් ස්ථානය මේ හා සමාන රෝහල් අපද්‍රව්‍ය තොගයක් වළ දමා ඇතැයි ප‍්‍රදේශවාසීහූ සැක පළ කරති.  
 
මීට අමතරව මෙම ස්ථානයට කිලෝ මීටරයක් පමණ දුරින් උඩවළව, තණමල්විල ප‍්‍රධාන පාරේ දාහතර හමාර ප‍්‍රදේශයේ අක්කර 50කින් යුතු විශාල ඉඩමකට ද මේ ආකාරයේ ම රෝහල් අපද්‍රව්‍ය කන්ටේනර් අටක් පමණ වළවල් කපා බැහැරකර ඇතැයි තොතුරු අනාවරණය වී ඇතැයි කියති.
 
 සිද්ධිය සම්බන්ධයෙන්  කිසිදු පුද්ගලයෙක් මේ වන විට අත්අඩංගුවට  ගෙන නොමැත.