(ගයාන් සූරියආරච්චි)

වැල්ලවත්ත ප්‍රදේශයේ නාවතැන්පොළක කාමරයක් තුළ වියට්නාම ජාතිකයන් සිවු දෙනකු බලහත්කාරයෙන් සිරකර පහර දුන් බව කියන වියට්නාම ජාතික යුවළක් අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.

මෙසේ ත්අඩංගුවට ගෙන ඇත්තේ 27 සහ 28 වයස්වල පසුවන යුවළකි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ආයතනයක චීන ජාතික කළමනාකරුවකු විසින් ඩොලර් 2000 ක මුදලක වංචා කර ඇති බවට වැල්ලවත්ත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පැමිණිලිකරු එම සොරකම සම්බන්ධයෙන් වියට්නාම ජාතික සිවු දෙනකු පොලිසිය වෙත ඉදිරිපත් කර තිබූ අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ආයතනයේ සේවය කරනු ලබන කීපදෙනකු විසින් ඔවුන්ට බොරු චේදනා එල්ල කර දින 2 ක් නවාතැන්ගෙන සිටි කාමරය තුළ සිරකර පහරදී ඇති බවය.

එම වියට්නාම ජාතිකයන් සිවුදෙනාට වැටුප් ලබාදී නොමැති බවද ඔවුන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත. ඒ අනුව පහරකෑමට ලක්වූ වියට්නාම ජාතික සිවුදෙනා රෝහල් ගත කර ඇති අතර ඔවුන්ට පහරදීමට සම්බන්ධ සැකකාර යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

තවත් සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.