(ගයාන් සූරියආරච්චි)

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සදහා ගිනි අවි ලබාදුන් සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන පුද්ගලයකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම, පැලෑන ප්‍ර දේශයේ පදිංචි මුහුදු රළමත ලිස්සා යන ක්‍රීඩා පුහුණු කණ්ඩායමක් නායකයකු වශයෙන් කටයුතු කළ 32 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු එම ඝාතනය සදහා වෙඩික්කරුවන්ට ගිනි අවි සැපයූ සැකකරුවන්ට සැගව සිටීම සදහා පහසුකම් ලබාදීම සහ අපරාධයෙන් පසුව ප්‍ර දේශයෙන් පලාගොස් සැගව සිටීමේ වරදට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ I නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

වැලිගම ප්‍ර දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඉකුත් ඔක්තෝබර් මස 22 දින නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

වැලිගම ප්‍ර දේශීය සභාවේ සභාපතිවරයාගේ මහජන දිනය පැවැති දින වෙඩික්කරු සාමාන්‍ය පුද්ගලයකු ලෙස මුඛ ආවරණයක් පැළැද සභාපතිවරයාගේ කාර්යාලය තුළදී වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලාගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.