(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ වරාය නගරයේ මරීනා වැලි තීරයේ පැවති ඩි. ජේ. ප්‍රසංගයකට සහභාගී වීම සඳහා පැමිණි තරුණියක සහ තරුණයකු සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි වරාය පොලිසිය සඳහන් කරයි.

තරුණිය වැලිතීරයේ වැටී සිටියදීත්, තරුණයාගේ මළසිරුර මුහුදේ පාවෙමින් තිබියදීත් හමු වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ දෙල්ගොඩ උඩුපිල මාහේන පාර පදිංචිව සිටි ජපන් රටේ රැකියාවක නියුතු බව කියන ජේ. එච්. ආර්. සඳලී පෙරේරා (28) හා වැල්වටිතුරෙයි පුදුවලව් පදිංචිව සිටි එස් නිතුර්ශන් (30) රෙදි පිළි ව්‍යාපාරිකයෙකි.

මියගිය තරුණිය ඉකුත් 28 වෙනිදින මරිනා වැලිතීරයේ පැවති ඩීජේ ප්‍රසංගයකට සහභාගී වීමට ගොස් සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක්හේතුවෙන් ඇය වැලිතීරයේ බිම වැටී සිටියදී ඇයගේ මිතුරියන් පිරිසක් දැක ඇය කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයවී ඇත.

එම තරුණිය ප්‍රතිකාර ලබමින් සිටියදී දිනකට පසු පෙරේදා (01) මිය ගොස්තිබිණි.

මියගිය තරුණයාගේ මළ සිරුර කොළඹ වරාය නගරයේ අර්බී (02) පාලම යට මුහුදේ පාවෙමින් තිබියදී ලද තොරතුරක් අනුව සොයා ගත් බව පොලිසිය කියයි.