රාජගිරියේ 2016 පෙබරවාරි 28 වැනි දා සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජාත්‍යන්තර වෙළඳාම හා රාජ්‍ය ව්‍යවසාය වැඩබලන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසුවේ පාඨලී චම්පික ඇමති අතින් වරදක් වී ඇත්නම් ඔහු අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් නීතිය කාටත් එක සේ ක්‍රියාත්මක බවත් ය.

තම අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුව ඇති අනතුර පිළිබඳ කිසිවක් සඟවා නොමැති බවත් එම ජීප් රථය මෙන්ම එය පැදවූ රියදුරාද පොලීසියට භාරදී පරීක්‍ෂණයට සහය දී ඇති බවත් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන පරීක්‍ෂණ කෙරෙහි කිසිම බලපෑමක් එල්ල කර නැතැයි කී ඇමතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය  විකෘති තොරතුරු පළකරමින් සිටින බව ද සඳහන් කළේය.

පොලීසියේ මෙන්ම උසාවියේ කටයුතුවලට නීතිගරුක පුරවැසියෙක් ලෙස තමන් සහය දෙන බව ද ඇමතිවරයා කීවේය.

අනතුරට ලක් වූ යතුරු පැදිය ධාරිතාවය 1000ක් වන අධිවේගී යතුරුපැදිය අමාත්‍යාංශයට අයත් ජීප් රථයේ පසුපස ගැටී අනතුර සිදුවී ඇති බවත් ඇමත කීවේය.