2016-11-11-ent-42

අනුෂ්කා ශර්මා රඟපාන ”ඒ දිල් හෑ මුෂ්කිල්” චිත‍්‍රපටිය මේ දිනවල ආදායම් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය වෙයි. එහෙත් අනුෂ්කා සතුටින් සිටින්නේ ඒ නිසාම නොවේ. විරාත් කෝලි සහ ඇය අතර වූ විරසකය සමහන් වී ඇති නිසාය. විරාත් කෝලිගේ 28 වන උපන් දිනය යෙදී තිබුණේ නොවැම්බර් 5දාටය. ඒවන විට එංගලන්ත ඉන්දියා ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා රාජ්කොට් ප‍්‍රදේශයට ගොස් සිටි විරාත් හමුවීමට අනුෂ්කා එහි ගියාය. ඔවුන් උපන් දිනය සැමරීම සඳහා ගියේ මෙන් ඉන් බ්ලූ හෝටලයටය.

එහෙත් කටකතාවලින් කියැවෙන්නේ ඔවුන් දෙදෙනා අතර සම්බන්ධය තවමත් පරණ පුරුදු තත්ත්වයට පත් වී නැති බවය. තතු දන්නවුන්ට අනුව විරාත් කෝලි ඊර්ෂ්‍යා සහගත පෙම්වතෙකි. අනුෂ්කාගේ වෘත්තිය සබඳතා නිරතුරුවම ඔහු අපහසුවට පත් කරන්නේය. එම නිසාම දවසට කිහිප වරක් ඇයට කතා කර ඇය කොහේ, මොනවා කරමින් සිටින්නේ දැයි අසන්නට ඔහු පුරුදුව සිටියි. ඔහුගේ පෙම්වතිය ”ඒ දිල් හෑ මුෂ්කිල්” චිත‍්‍රපටියේ සහාය නළුවන් වන රන්බීර් කපූර් සහ ෆාවාඞ් ඛාන් සමඟ ප‍්‍රචාරක කටයුතුවලට යාම ඔහු රුස්සන්නේ නැත. මේ මෑතකදී විරාත් ”ද රින්ග්” චිත‍්‍රපටියේ දර්ශන තලයට ගොස් අනුෂ්කා හමු වූ බැව් සියල්ලෝම දනිති. ඉනික්බිතිව ඔවුන් බොහෝ ආදරණීය ලෙස එකිනෙකාට ළං වී නගරය පුරා ඇවිද තිබේ. ඔවුන් සිත් පිනවන බොජුන්හල්වල ආහාර ගනිමින් සිටිනවා දුටු අය ද සිටිති.

ද රින්ග් චිත‍්‍රපටිය රූ ගත කෙරෙන්නේ චෙක් රාජධානියේ පේ‍්‍රග් පෙදෙසේය. ශාරුක් ඛාන් මෙහි ප‍්‍රධාන නළු චරිතයට පෙනී සිටියි.

 

2016-11-11-ent-44
2016-11-11-ent-43
2016-11-11-ent-41