විනීතා එම් ගමගේ
දුම්රිය හෝ වේවා වෛද්‍යවරු හෝ වේවා කරන වර්ජනවලින් රිදෙන්නෙත් වේදනා විඳින්නෙත් පොදු ජනතාව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවට මේ වර්ජනවලින් රිදෙයි කියා සිතුවත් එසේ රිදෙන්නේ නැතැයි ද එසේ සිතීම මිත්‍යාවක් යැයි ද ජනාධිපතිවරයා කීය.
රජයේ රෝහල්වලට පොහොසතුන් නොයන බවත් දුම්රියෙන් පොහොසතුන් නොයන බවත් කී සිරිසේන මහතා සාමාන්‍ය ජනතාව මේවා ප්‍රයෝජනයට ගන්නා බව වර්ජකයන් සිතිය යුතු යැයි ද සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (9) පැවැති උත්සවයක් අමතමිනි.
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය වැඩසටහන යටතේ ඔසු පැල ලක්ෂයක් යුද හමුදාවේ සහය ඇතිව වගාකිරීමේ වැඩපිළිවෙලෙහි සමාරම්භක මොහොත සටහන් කරමින් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් මෙසේ ද පැවැසීය.
‘‘විභාගය අවසන් වී ගෙදර යන දරුවෝ ගැන හදවත උණුවෙන්නේ නැද්ද? මනුෂ්‍යයත්වයේ සැබෑ යථාර්ථය විවෘත වන්නේ නැද්ද? නිතර වැඩවර්ජනය කරන දුම්රිය සේවක මණ්ඩලය වේවා, දොස්තර මහත්වරු වේවා මේ කවුරු හරි සිතනවානම් මේ වැඩවර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා කියලා එය මිථ්‍යාවක්. වැඩවර්ජනවලින් අපිට රිදෙන්නේ නැහැ. මේ වැඩවර්ජනවලින් රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාවටයි. කරුණාකරලා වෛද්‍යවරු වැඩවර්ජනය කරන්න රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්.
රෝගීන්ට අවශ්‍ය අඩුපාඩුකම් වෙනුවෙන් සටන් කරන්න. බෙහෙත් නැත්නම් බෙහෙත් නැහැ කියා වර්ජනය කරන්න. උපකරණ නැත්නම් උපකරණ නැහැ කියා වර්ජනය කරන්න. නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න ආණ්ඩුවේ අඩුපාඩුකම් තිබෙනවානම් ඒවා පෙන්වා ඒ සඳහා වර්ජනය කරන්න. ආණ්ඩුවේ රෝහල්වලට පෝසත් අය එන්නේ නැහැ. දුම්රියේ පෝසත් අය යන්නේ නැහැ. දුම්රියේ යන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. දුප්පත් ජනතාව. මමත් එක දිගට අවුරුදු ගණනාවක් කොළඹ - ගම්පහ දුම්රියේ ගිය කෙනෙක් විදියට, දුම්රියේ එන මගීන් අතරේ පාසල් දරුවන් අතරේ සමහර අයගේ සාක්කුවේ තිබෙන්නේ දුම්රියේ එන සීසන් එක විතරයි. ශත පහක් නැහැ.
වතුර පිපාසයක් ආවත් වතුර බොන්නේ පාරේ තිබෙන හෝ කෝච්චියේ තිබෙන ටැප් එකකට කට තියලා. ඒ අහිංසක මිනිසුන්ට වතුර එකක් ගන්නත් සල්ලි නැහැ. නමුත් මේවා තමන්ගේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු දේවල්. මේ වැඩවර්ජනය කරන සහෝදරයන්ගෙන් මම අහනවා ජාතියේ පුනරුදය ඇතිකරන්න මේ දේවල් කළාම පුළුවන් ද කියලා. ප්‍රශ්න විසඳාගන්න පුළුවන් ආණ්ඩුවක් තිබෙන්නේ.
ඡායාරූප - ඉෂාන් සංජිව





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට වර්ජන එපා වෙලා තියන වෙලාවේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය නැතිව වර්ජන කරන එක නීති විරෝදී කරන නීති පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තොත් නරකද. මේ වෙලාවේ දුම්රිය පුද්ගලීකරණය කරන පනතක් ගෙනාවත් ඊට සහයෝගය නොදී ඉන්න ජවිපෙටවත් බෑ . ඉක්මන් කලොත් මේ දෙකම ගොඩ.
සහතික ඇත්ත
හැබැයි මතක තියාගන්න ඔය කියන අහිංසක දුප්පත් පොදු මහජනතාව තමා ඔය ආණ්ඩුවේ වැඩි දුර පැවැත්ම තීරණය කරන්නේ කියලා.
ඔතරම් හරියක් දන්නවා නම් මහ ජනතාව පීඩාවට පත් කරන ජනතා විරෝධී, දේශ ද්‍රෝහීන්ගෙන් ජනතාව මුදවා ගැනීමට රටේ නායකයා කටයුතු කල යුතුයි නේද? ජනතාව අපහසුතාවයට පත් කරන දේශ ද්‍රෝහීන්, රටේ පාලකයාගේ සහෝදරයන් වන්නේ කෙලෙසද? කොතරම් අඩුපාඩු තිබුනත් නිදහසින් පසු, 2015 ට ප්‍රථම බලයට පත්වූ සියලුම නායකයින් රටේ ජනතාව කරලිකාරයින්ගෙන් මුදා ගත බව සත්‍යයක්.. බැටළුවකු ඉදිරියේ සිංහ වෙස් ගත් නරි පිනුම් ගසමින් සිටින රටේ, සිංහයෙක් දුටු දිනෙක ඔය නරි රංචුව, ලංකාවේ කැලයකින් වත් සොයා ගැනීමට නොහැකි වනසේ අතුරුදහන් වනු ඇත..
මෙතුමා කියන දේ හරියටම හරි. හමුදා සෙබළු වන අපි වර්ජන වලට කැමති නැත.
මහා බැංකුව සුද්ද කරපු එකෙනුත් රිදුනෙ මහ ජනතාවටම තමා. කෝ ඒකට කතා කරාද. ග්‍රාමසේවක කමක් කරපු මිනිහෙක්ට පුලුවන්ද ජනාධිපතිකමක් කරන්න ...............
වෘත්තීය ආචාර ධර්ම නොසලකා, කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය සේවකයින් වැඩ වැරූ බව සැබෑය. සාමාන්‍ය මගී ජනතාව මෙන්ම එදිනෙදා කාර්යාලවලට, වැඩ පොළවලට යනෙන සේවක, සේවිකාවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවද සැබෑය. කුපිත වූ ගෝත්‍රික මනසකින් යුත් කණ්ඩායමක් රාජ්‍ය දේපලවලට මෙන්ම වර්ජිත නිලධාරීන්ට පහර දුන් බවද සැබෑය. ශෝකයක් ඇතිවන තරමට දුම්රිය සේවක ප්රශ්නයේ වටිනාකමත්, මගීන්ගේ කාලයත්, පිඩාවත් එකිනෙකාට තේරුම් නොයාමත් ගැටලුවකි. රටක ප්රමුඛ අවශ්‍යතා පෙළ ගස්වා කටයුතු කළේ නම් දැවැන්ත මුදලක් යොදවා කළ අධිවේගී මාර්ග වෙනුවට සමස්ත දුම්රිය මාර්ග සහ දුම්රිය සේවය ප්රශස්ත මට්ටමකට දියුණු කල හැකිව තිබිණි. දිවයිනේ සියලුම දුම්රිය මාර්ග නවීන තාක්ෂණික ක්‍රමවේද යටතේ සංවර්ධනය කළේ නම් මෙවැනි ගැටළු අවම කරගන්නට තිබුණි. පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් පලක් නැත. ආණ්ඩුව පෙන්වා දෙන දුම්රිය වැටුප් { අතිකාල සමඟ } මෙපමණ වැඩිවන්නේ අධික දුම්රිය ප්‍රමාදයන් සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැතිකම නිසාය.