(ඉන්දිකා  රාමනායක)

රජයට විරුද්ධව  දිවයින පුරා  අද (28) ක්‍රියාත්මක කළ එක් දින වර්ජනය හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ  කටයුතු වලටද  දැඩි ලෙස  බාධා එල්ල වු බව පෑලියගොඩ  මත්ස්‍ය වෙළෙඳ පොළේ  ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා  පවසයි.

දෛනිකව පෑලියගොඩ   මත්ස්‍ය වෙළෙඳ පොළට විවිධ ප්‍රදේශ වලින් දිනකට මාළු ලොරි 200 ට අධික ප්‍රමාණයක්  ලැබෙන  බවත්, අද  දිනයේ  පැමිණ තිබුණේ ලොරි 10-15 අතර ප්‍රමාණයක් පමණක් බවද  හෙතෙම කියා සිටියේය.

මත්ස්‍ය වෙළෙඳ සැලට මාළු මිළදී ගැනීම සදහා  වෙනදාට දිනපතා අලුයම සිට ව්‍යාපාරිකයන් විශාල  පිරිසක්  පැමිණිනුනද ඊයේ දිනයේ ඔවුන්ගේ පැමිණීමේ  විශාල අඩුවක් දක්නට ලැබුණ බවද   ඒ මහතා කියා සිටියේය.

මාළු රැගෙන පැමිණ සීමිත  ලොරි රථය අලුයම් කාලයේ පැමිණි බවත්, ඉතාමත් කෙටි කාලයක් තුළ  ඒවාගේ  ඉක්මනින්ම  විකුණා අවසන් කළ බවද හෙතෙම කියා සිටියේය.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට   මාළු රැගෙන නොයන ලෙසට  තමන් දැනුම් නොදුන් බවත්, ඔවුන්ගේ අභිමතය අනුව ක්‍රියා කරන ලෙසට පමණක් දැනුම් දුන් බවද    හෙතෙම කීය.