(මනෝප්‍රිය ගුණසේකර)

වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ සාක්කිකරුවන් තිදෙනකුට ලබන 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (08) සිතාසි නිකුත් කළේය.

නඩු විභාගය එදිනට කල් තැබීමෙන් අනතුරුව එලෙස සිතාසි නිකුත් කරන ලද්දේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර ඇති 31,32 සහ 33 වැනි සාක්ෂිකරුවන්ටය.

2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.

ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්‍රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම් දී ඇත” නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශට මහතා අධිකරණයේ පෙනී සිටියේය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය ලබන 20 වැනිදා දක්වා කල් තැබු විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියම කළ අතර පැමිණීල්ලේ සාක්කිකරුවන් තිදෙනෙට සිතාසි නිකුත් කළේය.