(සුජිත් හේවාජුලිගේ )

විවිධ වැරදි සහ අක්‍රමිකතාවලට  සම්බන්ධවූ බව කියන    නිලධාරීන්  461 දෙනෙකුගේ විභාග රාජකාරී තහනම් කර  අසාදු ලේඛනයට  අැතුළත්  කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම   වාර්තාවක සඳහන්වේ.

කෙසේ වෙතත් අසාදු ලේඛනගත කරන ලද නිලධාරීන්ගේ තොරතුරු විභාග රාජකාරීවලට පත්වීම්  ලබාදීමේදී සලකා බැලීමක්   කරන බව විගණනයේදී   පෙනී ගොස්  නැතැයිද 
එම  වාර්තාවේ  දැක්වේ.

විභාග රාජකාරි තහනම් පනවන ලද නිලධාරීන්  461 දෙනාගෙන්  133  දෙනකුගේ  ජාතික හැඳුනුම්පත් අංකයද  නිලධාරින් 182  කගේ වැඩ  තහනම ආරම්භ කරන ලද දිනයද අසාදු  ලේඛනයෙහි  ඇතුළත් කර නොතිබූ බව  එම වාර්තාව සඳහන් කරයි

පසුගිය වසරේ නොවැම්බර්  21  දිනැතිව වසර හතකට වැඩි කාලයක්  අසාදු ලේඛනගත කළ නිලධාරීන්ගේ නම් අසාදු  ලේඛනයෙන් ඉවත් කළ බව මෙම වසරේ ජුනි 5  විගණකාධිපති වාර්තාවට දුන් පිළිතුරක   සදහන්  කර ඇතත්    එසේ   කිරීම ලේඛනය පවත්වා ගැනීමේ අඩුපාඩු හේතුවෙන්  කරනු  ලැබූවක්  බව විගණන නිලධාරීන්   නිරීක්ෂණය  කර අැත.

ඒ හේතුවෙන් අසාදු ලේඛන ගත කළ   නිලධාරීන් අඛණ්ඩවම  විභාග රාජකාරිවල නියැළීම  සිදු නොවුණේ යැයි  තහවුරු කරගත නොහැකි වූ බව  ජාතික විගණන කාර්යාලය පවසයි

මේ අතර  1993 සහ  1996 වසරවල  අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි  අයදුම්කරුවන්  පස් දෙනකු ව්‍යාජ ප්‍රතිඵල සකස් කිරීමේ චෝදනාව මත වරදකරුවන් ලෙස තහවුරු වී තිබුණද පනත ප්‍රකාරව ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව විගණන වාර්තාව සඳහන් කරයි.

අපොස සාමාන්‍ය පෙළ  2024 (2025)විභාගයේ මධ්‍යස්ථාන හතරක නිරීක්ෂණයන්  හය දෙනෙකු  විභාගය පැවැත්වෙන අවස්ථාවේ පාවිච්චි කළ  ජංගම දුරකතන  විමර්ශන අංශ   බාරයට  ගෙන   ඇතත් ඔවුන්ට එරෙහිව  ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව  එහි දැක්වේ.


මේ තොරතුරු   සඳහන් වන්නේ  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික  කාර්්‍ය  සාධන  වාර්තාවට  ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.