
ඇමෙරිකා හමුදා, වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පහර දී, ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන, ඇමෙරිකාවට රැගෙන යෑමෙන් පසු වෙනිසියුලාව දිනෙන් දින අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් හමුදා මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ තත්ත්වය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් 14 දෙනකු වෙනිසියුලා රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද වාර්තා වේ.
වෙනිසියුලා මාධ්‍ය සේවක සංගමය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනාම විදෙස් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් බවය.
දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මාධ්‍යවේදීන් කීප දෙනකු නිදහස් කළ බවත්, එයින් ද එක් මාධ්‍යවේදියකු රටින් පිටුවහල් කිරීමට වෙනිසියුලා රජය පියවර ගත් බවත් වෙනිසියුලා මාධ්‍ය සේවක සංගමය වැඩි දුරටත් පවසා ඇත.
වෙනිසියුලාව තුළ විදේශීය මාධ්‍ය වෙත දිගු කලක සිට දැඩි සීමා පනවා තිබුණු අතර, එහි රාජකාරි සඳහා වීසා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ඉතා සුළු පිරිසකට පමණි.
මේ වනවිට වෙනිසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ උප ජනාධිපති ධුරයේ සිටි ඩෙල්සි රොඩ්රිගස්ය. ඇය ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ද ප්‍රතිඥා දී ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ වෙනිසියුලාවේ පාලනය ඇත්තේ ඇමෙරිකාව සතුව බවය.
COMMENTS