(සුජිත් හේවාජුලිගේ )

එල්නිනෝ සමග ඇතිවූ අධික වර්ෂාව දෙසැම්බරයෙන් පසු ක්‍රමයෙන් අඩු වනු ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ලංකාදීපයට පැවසීය.

ජනවාරි මාසයේදී එල්නිනෝ උපරිම තැනකට පැමිණ අප්‍රේල් වනවිට නියඟ කාලයක් මතුවනු ඇතැයි පුරෝකතනය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් එල්නිනෝ තත්වය ගැන තවදුරටත් අධ්‍යයනය කරගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර එල්නිනෝ සමග ඉදිරියේදී ඇතිවිය හැකි පරිසර තත්වයන් සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය කෘෂිකර්ම ක්ෂේත්‍ර දැනටමත් දැනුවත් කර ඇත. ඒ අනුව මෙම කාලගුණ තත්වයන්ට ගැලපෙන සේ රටේ කෘෂි භෝග වගා වැඩපිළිවෙල සකස් කිරීමට නියමිතය. එල්නිනෝ රටේ දිස්ත්‍රික්ක දාහතකට පසුගිය දිනවල දැඩි බලපෑම් ඇති කළේය.

එහිදී ජල සැපයුම සහ කෘෂිකාර්මික වගාවන්ට ඇතිවූ බලපෑම මෙහිදී සුවිශේෂය.