(විනීතා එම් ගමගේ)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා අනුමත කරමින් එය රට පුරා ජනතාව අතරට ගෙන යාමටත් කටයුතු කරන බව පුරවැසි බලය සංවිධාන යේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා පැවැසීය.
මෙම යෝජනාව ජවිපෙ විසින් ඉදිරිපත් කරන තුරු සිටීම ගැන ජනාධිපති වරයා සහ අගමැතිවරයා ලැජ්ජාවට පත්විය යුතු බව ද පුරවැසි බලය සංවිධානය මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (30) පැවත්වූ මාධ්‍ය හමුවක් අමතමින් වියන්ගොඩ මහතා ප්‍රකාශ කළේය.
විධායක ජනාධිපති තනතුර නිසා රටක් ලෙස ඇතිවිය හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කළ යුතු නමුත් එසේ කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යන ප්‍රතිපත්තියේ ඉදගෙන යැයි ද හෙතෙම කියා සිටියේය.
වියන්ගොඩ මහතා මෙසේ ද කීය.
‘‘ චම්පික ඇමතිතුමා කියල තිබුණා විධායක ජනාධිපති ධූරය තව දුරටත් තිබිය යුතුයි කියලා. එතුමා ඉන්නේ 2025 ජනාධිපතිවරණයට තරඟ කරන්නයි. ඒ නිසයි මේ ක්‍රමයට විරුද්ධ. හැම දෙනාම තමන්ට හෝ තම පක්ෂයට අත්විය හැකි වාසි හෝ අවාසි තීරණය කරමින් මේ ගැන තීන්දු ගන්නවා. නමුත් පුද්ගලවාදීව බැලීමෙන් ඉවත්වෙලා අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණ ගතයුතු අවස්ථාවයි මේ.
ජනතා විමුක්ති පෙරමුණ මේක ඉදිරිපත් කිරීම කාලෝචිතයි. ඒ ඔවුන් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට මුලින්ම ලිඛිතව පොරොන්දුවක් දුන් නිසා. ඔවුන්ට මේ ගැන සැබෑ අයිතියක් තිබෙනවා. දැන් හෝ එය ගෙන ඒම හොඳයි.
මෙම කෙටුම්පත ගෙන ඒමේ පළමු වගකීම ඇත්තේ වත්මන් ජනාධිපතිටයි. ඊළඟට ඒ වගකීම ඇත්තේ අගමැතිවරයාටයි. මේ දෙදෙනාම කිහිප වතාවක්ම මේ විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු වුණා. ඔහුගේ පක්ෂයත් මේ රටට ඒ පොරොන්දුව දුන්නා. එසේ තිබියදී ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික යෝජනාවක් ලෙස මේ යෝජනාව ගෙන ඒම ගැන සතුටු විය හැකියි. යහපාලනයේ වගකීම සැබෑ ප්‍රශ්න සාකච්ඡා කරමින් මේ ක්‍රමය අහෝසි කිරීමයි.’’ යැයි ද වියන්ගොඩ මහතා පැවැසීය.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සභාව වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය සරත් විජේසූරිය මහතා මෙසේ කීය.
‘‘ මේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලැජ්ජා විය යුතුයි. සෝභිත හිමියන් එදා තේමාව ලෙස ගෙන ගියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළයුතුමයි කියලයි. ඒ තේමාව ඔස්සේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගොස් වත්මන් අණ්ඩුව බලයට ආවේ.
ඒ බව සිහි කරමින් ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ අවසන් කටයුතු සිදුවෙන මොහොතේ විධායක ජනාධිපතික්රමය අහෝසි කරන බවට යළි සපථ කළා.
මා සිතන්නේ ජනාධිපතිවරයා සෝභිත හිමියන් අපවත්වන තුරුම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සිතා සිටියා. නමුත් එතුමාගේ උපදේශකයන් විසින් ඒ ගැන ජනාධිපතිවරයාගේ මතය වෙනස් කර තිබෙන හැඩයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේශපාලකයෝ හැමදෙයක්ම කරනවා නොකරන එකම දෙය බලයට පත්වුනාට පස්සේ මැති වරණයට ප්‍රථම දුන් පොරොන්දු ඉටු කිරීම.
ජවිපෙන් වත් එජාපෙන් වත් අපේක්ෂකයෙකුට විධායක ජනාධිපති විය නොහැකි නිසාත් පොහොට්ටුවෙන් එන අපේක්ෂකයෙකුට වැඩි වාසියක් තිබෙන නිසාත් නේද ඔහොම කියන්නේ? කඩන්න බැරි වුනහම නරියා මිදී තිත්තයි කියනවා. විධායක ජනාධිපති ක්රමයේ අඩුපාඩු තිබුනත් රටේ ඒකීය භාවය රැකෙනවා.පරණ පොරොන්දු කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්.
විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත් අපේ රට හතරට පහට කැඩෙනවා.
ලංකාව වැනි කුඩා රටකට වඩාත්ම යෝග්‍ය වන්නේ ශක්තිමත් විධායක ජනපති ක්‍රමයක් පමණයි. එවැනි තනතුරකට අවංකවම රටේ ප්‍රගතිය සඳහා දැඩි තීරණ ගත හැකි පුද්ගලයෙකු පත්වීම පමණයි අවශ්‍ය. එමෙන්ම ලංකාවට විශාල මන්ත්‍රී මණ්ඩලයක් හෝ කැබිනට් මණ්ඩලයක්ද අවශ්‍ය නැහැ.
මේගැන කතා කරන්න තියෙන සුදුසුකම් මොනවද? මොවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? මෙම ඊනියා සංවිධානය නීත්‍යානුකූල සංවිධානයක්ද?
පාලනයක් නොමැතිව පළාත් සභා බල ගැන්වුවොත් මොකද වෙන්නේ කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා.
විධායක ජනාධිපති ක්‍රමය නැතිව අවුරුදු 30ක් අපි හිටියා. විධායක ජනාධිපති ක්‍රමය යටතේ 40 ක් හිටියා. රට ආපස්සට මිසක් ඉස්සරහට ගිහින් නෑ. ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන නෙමෙයි. වල්ගෙ පාලගෙන ඔක්කොම දඟලනවා. අපි මොනව කරන්නද?
එදා විධායක බලය තිබුන නිසා බය නැතිව නියෝග දීලා යුද්ධය ඉවර කලා. පහුගිය අවුරුදු 3 ට බලයක් නැතුව උතුරේ අය දැන් කරන වැඩ පේනවා නේද. දැන් විධායකය එපා කියන පුද්ගලයන් අද නැහැ විධායකය තිබ්බේ නැත්නම් බෝම්බවල අහුවෙලා මැරිච්ච තැන් වල ලොකු ගස්. අතීතය මතක නැති කම සිංහලයාගේ තියන ලොකුම දුර්වලකම.
විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බව චන්ද්‍රිකා,මහින්ද,සහ මෛත්‍රී යන හිටපු ජනාධිපතිවරිය මෙන්ම ජනාධිපතිවරු දෙදෙනා ජනතාවට පොරොන්දු වුනා. එම ධුරය හඳුන්වා දුන් එජාප යද දැන් එය අහෝසි කිරීමට කැමැත්ත පල කර සිටියි. ප්‍රධාන පක්ෂ සියල්ල පොරොන්දු දී තිබියදී දැන් විරෝධ පාන්නේ නම් එය දේශපාලන අකටයුතුකමකි. දසක හතරකට ආසන්න කාලයක් විධායක ජනාධිපතිධුරය රටට අත්කර දී ඇති වෙහෙස හොඳටම ඇති.
අදහසට නම් අපිත් එකඟ වෙනවා. එත් අනේ, මේ මහත්තය කවුද? අපේ රටේ දේශ පාලනය ගැන විධායක බලධාරියෙක්ද? ලෝක දේශපාලන උපදේශකයෙක්ද?කොහෙන් කඩා පාත් වුන එන්ජීඕ පප්පෙක්ද?