පිළිකා රෝගයකින් පීඩා විදි සිය පියා අහිමිවී, ඉඩම හා නිවස උගසට සින්න වී අසරණ වු පාසල් දරුවන් දෙදෙනෙකු වෙනුවෙන් මුදල් එකතුකොට උගස නිරවුල් කොට එම නිවසේ ඔප්පුව ඔවුන් අතට පත්කිරීමට ගම්පහ ඉඹුල්ගොඩ සුනේත‍්‍රා දේවී කණිෂ්ඨ විදුහලේ සිසු සිසුවියෝ පිරිසක් සමත් වුහ.
පියා මිය ගිය පසු උන් හිටි තැන්ද අහිමි වී පාසල් ගමනද නතරවන තත්වයකට පත්ව සිටි අනුජ ඉමල්ක රූපසිංහ සහ නේත‍්‍රා මිනෝලි රූපසිංහ යන දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් එකතු කර පරිත්‍යාග කරන්නට මේ පුංචි මිතුරෝ සමත් වුහ.
අනුජ එම විදුහලේ පස් වැනි ශ්‍රේණියේත්, ඔහුගේ නැගනිය නේත‍්‍රා දෙවැනි ශ්‍රේණියේත් ඉගෙනුම ලබන දක්ෂ දරුවෝ වෙති.
පියා මිය ගිය පසු පාසලට පැමිණ ඉතා කනස්සල්ලෙන් මෙන් කාලය ගත කළ අනුජගේ දුක් මුසු ස්වභාවය පිළිබඳ විමසු දරුවෝ ඔහුගේ නිවස උගසට සින්න වීම පිළබඳ පීඩනයකින් පෙළෙන බව දැනගත්හ.
පසුව අනුජ සිය පුංචි මිතුරන් හට පවසා තිබුනේ පිළිකා රෝගයකින් පෙළෙන තම පියාගේ බෙහෙත් හේත් සඳහා තම නිවස සහ ඉඩම උගස් කොට ඇති බවයි. තම මව ඉතාමත් අසරණවී සිටින බැවින් පාසල් ගමන නතර කිරීමට සිදුවන බවත් අනුජ කීවේය.
මෙම කුඩා දරුවෝ අනුජගේ පන්ති භාර ගුරිවරිය වු එස්.බී.පී සමරසිංහ මහත්මියට ඔහුගේ අසරණ බව මුලින්ම පවසා ඇත. පසුව විදුහල්පති ඇම්.ජී රන්බංඩා මහතා සහ ඇදුරු මඩුල්ල පාසලේ සියලූ දරුවන් සමග එක්ව අනුජගේ පියා මියගොස් මාස තුන ඉක්මයාමට මත්තෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් එකතු කර ගැනීමට සමත් වුහ.
රුපියල් දෙලක්ෂ පනස් දහසක් ගෙවා ඉඩමේ ඔප්පුව නිරවුල් කර එය ඔහුගේ මවට පිරිනැමුහ. ඉතිරි මුදලද අනුජගේ සහ නැගනියගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් කරගෙන යාමට ලබා දුන්හ.
අනුජගේ පියාගේ තුන් මාසයේ දානය අද(07) දිනට යෙදී ඇති අතර එහි කටයුතු වලටද එම විදුහලේ ආචාර්ය මණ්ඩලයේ සහ දෙමව්පියන්ගේ සහයෝගය ලබා දීම නිසා අද අනුජ සහ නැගිණිිය අද ඉතා සතුටින් සිටිති.
අපි එම දරුවන්ගේ නිවස සොයා ගියෙමු. අනුජගේ මව පත්මා කුමාරි ඒකනායක මහත්මිය එහි සිටියාය. බොහෝ දුක් කම්කටොලූ රැසකට මුහුණ දුන් මවකගේ වේදනාව ඇගේ දෙනෙතෙහි මෙන්ම මුහුණේ ද ලියැවී තිබුණි.
දීර්ඝ හුස්මක් ඉහළට ඇදගනිමින් ඇය අප හා හැඟීම් ඇගේ කතාව ඇරඹුවාය.
’‘මගේ සැමියා තුෂාර චමින්ද නාවික හමුදාවේ වැඩ කළේ. දැනට වසර හතරකට කලින් ඔහුගේ රැකියාව නැති වුණා. ඉන් පසු ඔහු පෞද්ගලික අංශයේ සුළු රැකියාවකට ගියා. ඒ වැටුප පවුල නඩත්තු කිරීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැහැ. ආර්ථික ප‍්‍රශ්න ගොඩක් තිබුණා.
පසුගිය 2012 වසරේ ඔහු හදිසි අනතුරකට පත් වුණා. බරපතල තුවාල ලැබු ඔහුගේ පාදයක් බිඳී ගියා. මාස ගණනාවක් ඔහු රෝහලේ හිටියා. ඔහු රෝහලෙන් ගෙදර ආවේ ඇවිදීමට පවා නොහැකිවයි. ඔහු එක් තැන් වුණා. මම දරුවන් දෙන්නත් එක්ක හොඳටම අසරණ වුණා. බොහෝ දිනවල දරුවන් පාසැල් ගියේ නැහැ.
ඒත් පුතාගේ යාළුවන් පුංචි උනත් අපිට ගොඩක් උදව් කළා. ඒ දරුවන්ට ඒක පාසලෙන් ලබා දීපු පුරුද්දක් වෙන්න ඇති. දරුවන්ගේ කීමට දෙම්ව්පියන් පවා අපිව බලන්න ආවා. විදුහල්පති තුමා ඇතුළු ගුරුවරුන් අපිට පිහිටවෙන්න කියා දෙමව්පියන්ව උනන්දු කළ බව මා දැනගත්තා.
මේ පාසලේ දරුවන් අපිට මුදලින් ආධාර උපකාර කළා. පොත් පත් පමණක් නොවෙයි වියළි ආහාර ද්‍රව්‍ය පවා ලබා දුන්නා. ඒ මුදල් වලින් අනුජගේ තාත්තට සිංහල වෙදකම් කළා. ඔහු සුව වුණා. ඉන් පසු ඔහු සුළු රැකියාවක් කළා.
දරු දෙන්න නැවතත් සතුටින් පාසල් ගියා. කොච්චර අගහිග කම් තිබුනත් අපේ පවුලට නැවතත් සතුට ගලා ආවා. ඉන් පස්සේ හරියටම අවුරුද්දකින් සැමියට උණ රෝගයක් වැළදී රෝහල් ගත කළා. නොයෙකුක් පරික්ෂණ කළා. එහිදී ඔහුටු දරුණු පිළිකා රෝගයක් වැළදී ඇති බව දැනගත්තා.
අපේ පවුලේ සතුට නැවතත් සේදි ගියා. අනුජගේ පුංචි යාළුවන් නැවතත් උදව් කළා. ඒ මුදල් වලින් බෙහෙත් කළා. අගහිගකම් නිසා ගේයි ඉඩමයි උගසට තියා රුපියල් දෙලක්ෂ පනස්දාහක් ගත්තා. පොලිය මාසෙකට දහතුන්දාහක් ගෙවන්න වුණා. දරුවන්ගෙන් මේ දේවල් වසන් කරගෙන හිටියේ. මහත්තයා සනීප කරගන්නයි ඒ වගේ අවදානම් දෙයක් කළේ. හැම ශතයක්ම වියදම් කළේ ඔහුව බේරගන්න.
ඒත් ඔහු මිය ගියා. පවුලේ අගහිකම් තවත් වැඩි වුණා. ගෙදර ගොඩක් අඩුපාඩු ඇති වුණා. දරුවෝ දෙන්නා බලා ගත් අත බලාගෙන හිටියා. ඔවුන් පාසල් ගියේ කඩින් කඩ.
දවසක් පොලියට මුදල් දුන් අය අප සොයා පැමිණියා. නිවසයි ඉඩමයි උගසට තියල මුදල් ගත්ත බව අනුජ පුතා දැනගත්තා. ඔවුන් කීවා මාස තුනක් ඇතුළත මුදල් ලබා දෙන්න කියා.
පුංචි අනුජගේ සිතට මේ දේ දරා ගන්න බැරි උනා. ඔහු විටින් විට අසනීප වුණා. පාසැල් යන්න උනේ කඩින් කඩ. ඔහු බලා ගත් අත බලාගෙන හිටියා. ඔහුගේ මානසික තත්වය හොදටම ඇද වැටුණා. ඔහු ගෙදරින් පාරට බහින්න වෙයි කියා බයේ හිටියේ. අපිට පිහිටවෙන්න කව්රුත් හිටියේ නැහැ.
මේ අතරේ දවසක් මට පාසැලෙන් පණිවිඩයක් එවලා තිබුණා. පුතාගේ පන්ති බාර ගුරුතුමිය විදුහල්පතිතුමා ඇතුළු ගුරුමණ්ඩලය කිව්වා ළමයින් සල්ලි එකතුකරනවා ගේයි ඉඩමයි බේරගන්න කියා. මට වගේම මගේ දරුවන්ටත් සැනසීමක් ඇති වුණේ එදා.
පසුගිය දිනක ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.කේ මල්ලව ආරච්චි මහත්තයත් කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක සුසන්ත ගුණතිලක මහත්තයත් පාසලට ඇවිත් ඉඩම නිරවුල් කර ඔප්පුව මගේ අතට ලබා දුන්නා.
දැන් මගේ දරුවන් හරිම සතුටින් පාසල් යනවා. විදුහල්පති තුමාට, ගුරුවරුන්ට, දෙමවිපියන්ට, අසල්වාසීන්ට, දරුවන්ට මේ හැමටම පින් අයිති වෙනවා පාරට බහින්න හිටි අපිට ඉන්න තැන යළි ලබා දුන් එකට යැයි කියමින් ඇය සැනසුම් සුසුමක් හෙළුවාය.
ඉඹුල්ගොඩ සුනේත‍්‍රා දේවී ප‍්‍රාථමික විදුහලේ විදුහල්පති එම්.ජී රන්බංඩා මහතා හමු උනෙමු.
ඡායාරූපයක් ගැනීමට පවා බොහෝ අකමැති වු එම විදුහල්පතිවරයා පැවසුවේ මේ කිසිදු දෙයකින් ප‍්‍රසිද්ධියක් බලා පොරොත්තු නොවන බවයි. ඔහු නම් අපුරු චරිතයකි. ඔහුගේ දැක්ම වන්නේ පාසලින් ප‍්‍රජාවට යමක් විය යුතු බවයි. එය ඔහු වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද පෙන්වා ඇති උතුම් පුද්ගලයෙකි.
ඔහුගේ දැක්ම අනුව මෙම ප‍්‍රදේශයට පාසැලෙන් සිදු වු ප‍්‍රජා සේවා බොහෝය. දෙමව්පියන්ට බරක් නොදී ඔවුන්ගේ සිත් පහන් කරන්නට මේ පාසල දායක වී ඇති අන්දම විශ්මය දනවන සුළුය.
ඔහු පවසන්නේ දෙමව්පියන් ලවා පාසලේ සියළු අවශ්‍යාතා සපුරා ගැනීම නවතා අන් අයට උදව් කිරීම දරුවන්ට මෙන්ම දෙමව්පියන්ටද හුරු කිරීමෙන් ප‍්‍රජාවගේ ද සහයෝගය ලබා දෙමව්පියන්ට බරක් නොවී පාසල දියුණු කර ගත් බවයි.
අද ඔහු එය ක‍්‍රියාවෙන් ඔප්පු කර ඇත. මින් වසර පහකට පෙර ප‍්‍රදේශයේ නැති බැරි පවුලකට රුපියල් ලක්ෂ හතක වියදමින් නිවසක් තනා දීමට මේ අයුරින්ම මෙම පාසල ක්‍රියා කළේය.
පසුගිය 2013 වසරේ කාත් කව්රුත් නැතිව අසරණව උන් හිටි තැන් අහිමිව ගිය කාන්තාවකට ද රුපියල් ලක්ෂ තුනක් වියදමින් නිවසක් සාදා දී ඇත.
දෙමව්පියන්ගේ සිත් මෙන්ම ගම් වැසියන්ගේ සිත්ද ප‍්‍රජා සේවා සඳහා යොමු කිරීමට විදුහල්පති සමත්වී ඇත්තේය.වසර 12 ක් පුරා ඔහු ඒ වෙනුවෙන් කර ඇති කැපවීම් අන්නතය.
මීට වසර 12 කට පමණ පෙර මෙම පාසලේ විදුහල්පතිවරයා ලෙස ඔහු මෙහි පැමිණෙන විට මෙය දරුවන් 46 දෙනෙකු අධ්‍යාපනය ලබන වැසී යාමේ අවදානමකට ලක්ව තිබු දුෂ්කර පාසලකි.
ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසැල් වලට තම දරුවන් ඇතුළු කිරීමට හැකියාව තිබියදී විදුහල්පතිවරයා ඔහුගේ දරුවන් දෙදෙනාද මෙම පාසලටම ඇතුළත් කර ගම්වාසීන්ටග් විශ්වාසය තහවුරු කර ඇත්තේ කෙසේ හෝ පාසල දියුණු කරන අදිටනිනි.
මේ වන විට එකේ සිට පහ ශ්‍රේනිය දක්වා පන්ති පවත්වන මෙහි අද දරුවෝ 500ක් පමණ උගනිති.
ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ රජයේ පාසැල් අතුරින් මෙවර පහ වසර ශිෂ්‍යත්ව ප‍්‍රථිපල වලින් ප‍්‍රථම ස්ථානය ලබා ගෙන ඇත්තේද මෙම පාසැලයි.
එමෙන්ම සමස්ත ලංකා නර්ථන තරගාවලියන්ගෙන් 2005 සිට 2013 වර්ෂය දක්වා අඛන්ඩව ජයග‍්‍රහණ හිමිකරගෙන ඇත. 2014 වසරේ සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් ප‍්‍රාථමික අංශයේ ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමටත් මෙම විදුහල සමත්ව ඇත.
පාසැලට පිවිසෙන මග දෙපස දෙපස අලංකාරව මල් වවා ඇත. පාසැල ඇතුලත ඉතා සිසිල් බවකින් යුක්තය. දැහැන් ගත වී අධ්‍යාපනය ලැබීමට සුදුසු සුන්දර පරිසරයක් එහි අද නිර්මාණය කර ඇත.
තම පාසලට පමණක් නොව ප‍්‍රදේශයේ සෙසු පාසල් හි අවශ්‍යතා ඉටු කිරීමට තරම් නිහතමානී විදුහල්පතිවරයෙකු ඇතුළු ආචාර්ය මණ්ඩලයක් සිටිම ඇත්තටම දරුවන්ගේ මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවගේ වාසනාවක් බව බොහෝ ගම්වැසියෝ කියති








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න දෙවිවරු වන් ගුරුපියවරු . මේ පිනම ඇති ඔබේ දරුවන්ට යහපතක් වෙන්නට. (නි)
විදුහල්පතිතුමනි,කලයුතු දේ කරන්න.දෙපාර්තමේන්තුවෙන් වෙනකන් බලා නොඉඳ ඔබ කරන ලද කැප කිරීම ඉතා අගෙයි. එය ඔබට හිත සුව පිණිසම පවතීවි. තවත් මෙවැනි දේවල් කිරීමට ඔබට ශක්තිය ලැබේවා (හේ)
මේ විදුහල්පතිට සහ පාසලට යම්කිසි අනුග්‍රහයක් ඉහළ නිලධාරීන්ගෙන් ලැබිය යුතුයි. මේ ගැන පළාතේ අධ්‍යාපන නිලධාරීතුමාගේ අවධානයට යොමු වුණොත් හොඳයි. (නි)
මෙවැනි ගුරුවරු රටට විශාල ආදර්ශයක්. ඔබට පින්! බුදු සරණයි ඔබ හැදු වැඩු දෙමාපියන්ටත්! මේ ගැන බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුයි (නි)
පින් සිද්ධ වෙන වැඩක්.(හේ)
ඔබතුමාට පින්. ඔබතුමාගේ දෙමාපියන්ට මෙම පින් ලැබෙනවා. ඔබ වැනි මහත්මාවරුන්ට සහජයෙන් මතුවන නායකත්වය සාධාරන මානව සමාජයට සම්පතක්. ඔබගේ නිහඩ සේවයට දළදා සමිඳු පිහිට පතමු! (නි)
මෙන්න පින්වත් ගුරු දෙවතාවන් සහ දෙව් සිටුවරු සහ ඔවුන්ගෙ දුවා දරුවන්.(හේ)
දේශපාලකයින් ගාවානොගැනීම නම් බොහොම වටිනවා (නි)
මේ පින ඔබට ඇති.(හේ)
ආයු බෝ වේවා, ආදර්ශමත් ගුරු පියාණෙනි.......! ආදරණීය පුතුනුවන් ට සහ දියනියට, ඔබ වෙනුවන් ලද මේ මාහැඟි පරිත්‍යාගය කිසිදා අමතක නොකරන්න. හොඳින් උගෙන එම පරිත්‍යාගයේ වටිනාකම ලොවට පෙන්වන්න. උපකාර කල සියලු වෙනාට බුදු සරණයි......!(හේ)
ඔබතුමා කරන මෙවැනි පින් වැඩ වලින් මෙය කියවන සැමගෙන් ලබන ඇගයීම මෙලොව කිසිදිනක කිසිකෙනෙකුට ලැබිය හැකි දෙයක් නොවේ. මේ පිනම ඇති ඔබතුමාට මතු බුදු බව ලැබීමට.(අ)
අපිත් ඊලග පාර මේ වගේ ක්‍රියාවකට උදව් කරන්නම්.(හේ)
මේ ක්‍රියාව සියළු දේශපාලඥයින්ට හොද ආදර්ශයක්.(හේ)
අනිකෙකුගේ පුංචි කදුලක් තමන්ගේ කරගත් මේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සහ පුංචි ලමි කල මේ උතුම් මෙහෙවර අපේ ඇස්වලට සතුටු කදුළු ගෙනෙනවා.(හේ)
මේ උතුම් සමාජ සේවකයාට මම ආචාර කරනවා.ඔබ තනතුර නිසා බැබලුනේ නැහැ. ඔබ නිසා මේ තනතුර බැබළුණා. (හේ)
ඔබ රටට ආදර්ශයක්.(හේ)
මේ පිනම ඇති ඔබතුමාට.(හේ)
ඔබේ සෙවණෙහි අකුරු කරනා දරුවෝ භාග්‍යවන්තයෝය. යහපතක්ම වේවා විදුහල්පතිතුමනි! (නි)
මේ උතුමා කාරියට දායක වූ සැමට මගේ ආචාරය !(හේ)
මේ රටේ අනිත් ගුරුවරුන්ටත් හොද ආදර්ශයක්.(හේ)
මේ උතුම් කාරියට දායක වූ සැමට මගේ ආචාරය ! විදුහල්පතිතුමනි ඔබේ මේ ආදර්ශමත් සමාජ මෙහෙවර කවුරු හරි පොතක හෝ නවකතාවක් ලෙසින් හෝ ලියා තියන්නේ නම් අනාගත පරපුරට ආදර්ශමත් මග පෙන්වීමක් කරන පණිවිඩයක් වේවි. ඒ කාර්යයට කවුරුන්ගේ හෝ සිත් යොමු වේවා(හේ)
මෙතැනින් නවතින්න එපා.(හේ)
මේ ආදර්ශවත් ගුරු පියාණන් හැදු වඩු දෙමාපියෝ රටට ණයක් නැත. පුරවැසියන් හැටියට තම වගකීම අකුරටම ඉෂ්ටකර ඇත. ඔවුන්ටයි මගේ මේ ආචාරය ! (නි)
සැබෑ අධ්‍යාපනය කියන්නේ මෙයයි. දරුවන්ගේ සිත් තුළ මනුෂ්‍යත්වය,ආදරය ඇති කිරීමයි. දරුවෙක් කොතරම් ලොකු තැනකට යැව්වත් වැඩක් නැහැ මනුෂ්‍යත්වයට සංවේදී නැත්නම්. පසුගිය දිනවල දොස්තරලා කීපදෙනෙක් ගැන ගිය පුවත් දැක්කා නේද? (නි)
සියල්ල උඩු යටිකුරු වී මනුෂ්ෂත්වය වෙනුවට මුදල ඉස්මතු වී ඇති කලක මෙවැනි දේවල් අප රට තුල ආදරය කරුණාව නැවත පන ලැබීමට සිසිල් දිය දහරාවක් වී මහා ගංගාවක් වේවා.(හේ)
මෙවැනි යහපත් පින් සහිට දේවල් තව තව කිරීමට විදුහල්පති තුමනි ඔබට ශක්තිය දහිරිය ලැබේව. ඔබට සම්මා සම්බුදු සරණයි.(හේ)
ඔබතුමා වගේ මිනිසුන්ට තම කට ඇරලා කියන්න පුළුවන් දෙවියෙක් වගේ කියලා. (නි)
මගේ ඇහැට කඳුලක් ආවා. මේ වගේ උතුම් වැඩ අපි හැමෝම අගය කළයුතුයි. විදුහල්පතිතුමාට විශේෂ ඇගයීමක් දියයුතුයි. (නි)
දීර්ඝායු පතමි .ඔබතුමන්ට .උසස් අරමුණු අපේක්ෂා සහිත පාසලක් ,විදුහල්පතිතුමෙක් .දෙලොවටම යහපත පිණිස වන මෙවැනි උතුම් ක්‍රියා වලට දායක වන සැම දෙනාට එහි ආනිශංස ලැබේවි .(හේ)
මී වැදගත් මහත්මයාට ගොඩක් පින්. මෙය අපේ රටට බරක් වී ඇති දෙසපාලුවන්ට ආදර්ශය ගත හැකි චරිතයක්. ලංකාදීපය්ටත් ස්තුති.(හේ)
ගුරු පියෙකු නොවේ, ගුරු දෙවියෙකි.මෙම මහා පුණ්‍යකර්මයට සහභාගි වූ සැමට පින්! (නි)
"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ" (නි)
විදුහල්පතිතුමාට බුදු සරණයි! (නි)
ඇස් දෙකට කදුළු ආවා. හැමදාම අහන්න ලැබෙන්නේ මිනීමැරුම්, දුෂණය , හොරකම ආදී දේවල්. මේ වගේ දෙයක් අහනකොට දැනෙන සතුට !! (නි)
අද කාලේ සියල්ල මුදලට යටවන විට මොහු මුළු ගුරු පරපුරටම ආදර්ශයක් (නි)
නිවැරදි දැක්මෙන් ආදර්ශවත්ව සැමගේ සහයෝගය ලබාගෙන ගුණගරුක සිසු පරපුරක් බිහිකිරීමට උත්සාහ ගන්න විදුහල්පතිතුමාටත් ගුරු මඬුල්ලටත් සැමදා වාසනාවන්! මගේ උත්තමාචාරය ඔබ සැමට! (නි)
මෙතුමා වගේ උදවිය තමයි රාජ්‍ය සම්මාන වලට පාත්‍රවිය යුත්තේ. (නි)
ගුරු පියාණන් ඇතුලු සියළු දෙනාටම තෙරුවන් සරණයි.(හේ)
විදුහල්පතිතුමාට සිරස නමා ආචාර කරමි (නි)
බොහොම පිනක්. කුසලයක්. ආදර්ශවත් වැඩක්! (නි)
ප්‍රථමයෙන්ම ලංකාදීපයට මගේ ස්තූතිය. මෙවැනි තවත් විදුහල්පතිවරු කිහිප දෙනෙක් ලංකාවේ ඉන්නවා. වලස්බැද්ද වගේ ඉස්කෝලවලත් හිටියා. ඉරිදා පත්තරෙන් සතිපතා මේ අය ගැන පල කරන්නේ නම් එය ළමුන්ටත්, ගුරුවරුන්ටත්, සමාජය වෙනුවෙන් කළහැකි කැපවීම පෙන්වා දේවි. (නදී)
උදාර ගුරු පියෙක් (නි)
ගුරු පියාණනි, ඔබට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
දයාබර මෑණිවරුනි, පියවරුනි,ඔබ සැමත් ඔබ සැමගේ දරුවන් සැමදෙනාත් කොතරම් වාසනාවන්තද? මෙවන් දෙවිවරුවන් ගුරුබවතුන් සෙවණේ ශිල්ප සතර හදාරන්නට ලැබීම ..... (නි)
මේ වැඩේ දැකලවත් හැදෙන්න.(හේ)
කරුණාකර විදුහල්පතිතුමාගේ ලිපිනය හෝ විදුහලේ ලිපිනය ලැබෙන්නට සළස්වන්න. (නි)
නොමිනිසුන් ඉන්නා නුතන සමාජයේ ඔබ වැනි බෝසත් අයෙක් සිටීමත් සතුටකි (නි)
තමන් බිහිකර හදාවඩා සමාජයට භාරදෙන්නේ රට දැයට වැඩක් ඇති සමාජ සේවකයෙක්ද නැතහොත් සියලු දෙනාගේ පරිභවයට ලක්වන මැරයෙක්ද යන්න ඇත්තේ දෙමාපියන් අතේය. මම මේ විදුහල්පතිගේ උතුම් දෙමාපියන්ට හිස නමා ආචාර කරමි. (නි)
ගරු විදුහල්පතිතුමනි, ඔබතුමාට ජය හා සැප! (නි)
මෙම පුණ්‍ය කටයුත්ත සම්බන්ධව පුවත කියවීමෙන් මට ලොකු සතුටක් සහ සහනයක් දැනුනා. මේ පාසල් භූමියම ලොකු පින්බිමක්. මට කිසිම සැකයක් නැහැ මුළු රටටම කරුණාව සහ මෛත්‍රිය කරන හොඳ පුරවැසියන් පිරිසක් මෙම පාසල් භූමියෙන් බිහිවේවි. විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ගුරු මණ්ඩලයට සහ මෙවැනි සද්කාර්යයන්ට දායකවන සියලු දෙනාට මගේ ප්‍රණාමය පුද කරමි. (නි)
ඔබ සැමට දෙවිපිහිටයි! (නි)
කොළඹ පාසල් වල, ළමයින්ගෙන් මුදල් එකතු කර කරන හිස් වැඩත් සමඟ බලද්දී මේ වැනි දේ අපි සැම අගය කළයුතුයි. (නි)
ඔබතුමා දෙවියෙකි. ඔබ පවුලේ සැමටත්, එම මව සහ දරු දෙදෙනාටත් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩේවා! ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
ආදර්ශවත් සද්ක්‍රියාවක් (නි)
ඔබගේ උත්සාහයේ සාර්ථකත්වයට මගෙන් සුබ පැතුම්! තවතවත් මෙවැනි ආදර්ශමත් ,වටිනා කාර්යයන් කිරීම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
මෙවැනි ගුරුවරුන් සහ දරුවන් දැකීමද පිනකි (නි)
ලංකාදීපයට නැවත තුති මල් මිටක්...! මෙවැනි වැදගත් විදුහල්පතිවරු සිටිනතාක් රට දිනෙන් දින යහමඟට ගතහැක. ඔහු සිදුකළ උදාර සේවාවන් හා කැපකිරීම් වලට රජයෙන් උසස් ඇගයීමක් අනිවාර්යයෙන් සිදුකළ යුතුයි (නි)
ඉතා අගය කළයුතු ක්‍රියාවක්. පුළුවන් කෙනෙක් විදුහල්පතිතුමාගේ දුරකථන අංකය හොයලා දෙනවද ? (නි)
විදුහල්පතිතුමනි ඔබට බුදු සරණයි (බ)
හොද වැඩක්.(හේ)
මේක බලන සංවේදී මිනිස්සු හැටියට ඇත්තටම ඇසට කදුලක් එනවා.. දරුවෝ දොස්තරලා, ඉංජිනේරුවෝ කලාට වැඩක් නෑ, මේ වගේ උතුම් ගති ගුණ වලින් පිරුන මිනිස්සුයි බිහිකරන්න ඕන. ඔබ තුමාට තෙරුවන් සරණයි....!(හේ)
ගුරු පියාණනි, ඔබ අගය කරන්න වචන සොයාගැනීමට නොහැකිවීම ගැන දුක්වෙමි. හැදු වැඩු දෙමාපියන්,බිරිඳ, දරුවන් සහ ඔබට ජය සතුට සැමදා ලැබේවා! (නි)
රටේම පාසල් මෙම විදුහල්පති ,ගුරු මණ්ඩලය සහ දරුවන්ගේ උතුම් ක්‍රියාව ආදර්ශයට ,අවධානයට ගනිත්වා! ලොකු සතුටක්. බුදු සරණයි! (නි)
මේ පළාතේ බලධාරීන් මේවා ගැන සොයා බලන්නේ නැද්ද? (නි)
නෙතින් කදුළු බිදුවක් වැටුනා.දුකට නොවෙයි, සතුටට. මගේ මේ පුංචි දුප්පත් රටේ සාරධර්ම වලින් පිරිපුන්, පොහොසත් හදවත් ඉඳහිට හෝ දකින්න ලැබීම ගැන සතුටුයි. අතදුන් සැමට නිදුක් නිරෝගී දිවියක් පතමු. (නි)
මේක අනිත් සියලුම විදුහල්පතිවරුන්ට ආදර්ශයක්.(හේ)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරු පියෙක්. තව තවත් මෙවැනි කටයුතු කිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
මිනිස්කම ගරාවැටෙන සමාජයක කලාතුරකින් හමුවුණ උදාර මිනිසෙක් (නි)
අපි මේ පවුලට මාස්පතා ආධාරයක් කරමුද? (නි)
ලියන්නට වදන් නැත මගේ ශබ්ද කෝෂයේ. ඔබට සුබ පැතුම්! (නි)
ලිවීමට යමක් ඇතත් වචන ගලපාගත නොහැක. (හේ)
මේ වාගේ අය තමයි රටේ පාලනයටත් සුදුසු වෙන්නේ (නි)
මොනතරම් විශිෂ්ට ආදර්ශයක්ද? (නි)
මෙන්න නියම මහත්තයෙක් (නි)
ඔබට මේ කළ පිනම ඇති (නි)
ආදරණීය ගුරු පියාණෙනි, ඔබට ආයු ,වර්ණ, සැප, බල වැඩේවා..!! (අ)
මිනිසත්බව ලබා සිටින දෙවිවරුත් මිනිසුන් අතර සිටිනවා. ඔබට පින්! (නි)
සල්ලි සහ කාලය වැයකොට පුහු වැඩ කරන අය මෙන්න මේ වගේ දේවල් කරන්න අදිටන් කර ගනිත්වා! මේවා තමයි නියම පින්කම්.මේ අහිංසක මවත් දරුවෝ දෙන්නාත් උදේ හවස මේ සද්කාර්යය කළ අයට පින්දෙනවා. (නි)
මේ නිව්ස් එක දැක්කත් අදහස ලියාගන්න බැරි උනා. මා පැය 24 වැඩ මුරය නිසා. ඇත්තටම පුදුමම සතුටක්, භක්තියක් මගේ හදවතට දැනුනේ මේ ප්‍රවෘතිය දැකීමෙන්, අගයන්න ඕනේ මෙවැනි උත්තමයන් සහ දරුවෝ දෙමාපියන්ව. ඒ සැමට දෙවියන්ගේ ආශිර්වාදයෙන් කවදාවත් දුකකට පත් නොවේවි. දරුවන්ගේ අධ්‍යාපනයෙන් ඔවුන්ව හිනි පෙත්තටම දෙවියන් වහන්සේ සුරතින් ඔසවා තබනවා එය නිසැකයෙන්ම සත්‍යකි. මගේද හදපිරි ආශිර්වාදය ඔවුන් සැමට. (නදී)
මෙම පිනට වචනයකින් හෝ දායකවූ සැමට කායික, මානසික සහනය, නිරෝගි සම්පත,දීර්ඝායුෂ ලැබේවා.....සියළු දෙවියෝ රැකදෙත්වා......මම ඉන්නේ පිටරට මේක කියෙව්වම ඇහැට කඳුලු ආවා.(අ)
විදුහල්පතිතුමාට පින්සිදු වේවා!ජයම වේවා!(හේ)
ඔබට දිර්ඝායු වේවා.! (ර)
ඇසට කඳුලක් නැඟෙනවා වගේම මෙවැනි විදුහල්පති පියෙක් යටතේ දවසක හෝ අධ්‍යාපනයක් ලබන දරුවන්ගේ පින ගැන පුදුම සතුටක් ඇතිවෙන්නේ.මෙවැනි ආදර්ශව ගුරු පියවරු තව තවත් බිහිවේවා! පුතේ,දුවේ ජීවිත ගමන සාර්ථකම වේවා!!! (නි)
ශ්රී ලංකාවට මිණි පහනක් වූ මෙම මහත්මයා වෙනුවෙන් අපේ වගකිවයුත්තන් ගන්නා ක්‍රියාමාර්ගය දෙස අපි බලාසිටිමු (නි)
ආදරණීය ගුරු පියාණෙනි, ඔබට ආයු ,වර්ණ, සැප, බල වැඩේවා..!! (නි)
මෙවන් විදුහල්පතිවරු රටට වාසනාවක්! (නි)
කියවන විට දුක හිතුන.ආදර්ශමත් ගුරු දෙවියෙක්.අපිත් උදව් කරමු. දන්වන්න.(හේ)
ඇත්තටම සතුටුයි මේ විදුහල්පති තුමා ගැන.(හේ)
මේ වගේ දෙවිවරු වැනි ගුරු මෑණිවරු පියවරු තවමත් අප අතරේ ඉන්නවා දරුවන්ගේ යහපත වෙනුවෙන් වැඩකටයුතු කරන.අද ගොඩක් පාසල්වල වෙන්නේ දරුවන්ගේ වටාපිටාව නොදැන කටයුතු කිරීමයි.දරුවන්ට වාගේම දෙමාපියන්ටත් උහුලාගෙන ඉන්න බැරි පීඩනයක් ඒ තුලින්.මේ මහතා ලොකු ආදර්ශයක් මේ හැමෝටම.(හේ)
ඔබට පින්! (නි)
උතුම් මිනිසෙක්,ඔබ වැනි මිනිසුන් දස දහසක් බිහිවේවා!(හේ)
මේ සද්කාර්යයට එකතු වූ සැමට සසර වසනතුරු ලෙඩක් දුකක් හැදී අසරණ නොවේවා! ආදර්ශමත් විදුහල්පති ඇතුළු සැමට යහපතක්ම වේවා! (නි)
නෙතට කදුලක් නැගුණ පුවතක්.(හේ)
ඔබට දෙවි පිහිටයි.(හේ)
ඔබට ජය (නදී)
මේක නම් වචනයෙන් ප්‍රශංසා කරන්න බැරි උතුම් පින්කමක්. (නි)
පුවත කියවීමෙන් මට ලොකු සතුටක් දැනුනා. ලංකාදීප කතෘතුමනි මෙම විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සිටින පාසලට යම්කිසි අනුග්‍රහයක් ලබාදීම පිණිස ජනාධිපති තුමාගේ අවධානයට යොමු කරවීමට කටයුතු කරවීම වටිනා පුවත පලකිරීමේ ඔබ ආයතනය කරන පුණ්‍යකර්මයකි. (හේ)
ඇත්තෙන්ම දෙනෙතට කදුළු ඉනුවා. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, මේ විදුහල්පති උතුමාණන්ගේ අසීමිත මනුස්සකම දරාගන්න බැරුව. මගේ දරුවාවත් අනිවාර්යෙන්ම මේ විදුහල්පති උතුමාණන්ගේ නායකත්වය තියෙනවා නම් එදාට ඔය පාසලට දානවාමයි. මෙවන් විදුහල්පතිවරු වාසනාවන්! (නි)
ඔබට ජය!! (නදී)
ඊයෙත් අදත් කියවන්න ලැබුන සංවේදී කතා දෙකකින් එකක් මේකයි. අනිත් එක අර පොලිස් නිලධාරියා මහලු මව ඔසවාගෙන යාම පිළිබඳ පුවතයි. තාමත් ඉඳහිට මෙහෙම මනුෂ්‍යත්වයෙන් පිරි උතුම් මිනිසුන් ගැන අසන්න ලැබීමත් වාසනාවක්. (නි)
සිතට සැනසුම ගෙනෙන මේ පුවත කියවලා, මේ සටහන ලියන මොහොත දක්වාම මගේ ඇස් දෙකේ කඳුළු පිරුණේ මේ වගේ උතුම් විදුහල්පතිකෙනෙක්, සිසු දරුවන්ගේ පින්වත් ක්‍රියාව ගැන හිතලද, නැතිනම් අර වගේ අසරණ වෙලා දුක්විදින දහසක් වූ දරුවන් ගැන හිතිලද කියන්න මම දන්නේ නෑ... රටේ යහපත වෙනුවෙන් දැයට අවශ්‍යම මිනිසත්කම පිරි දක්ෂ දරු දැරියන් තනන්නට කැපවෙන, ආදර්ශමත් ගුරු පියාණෙනි..ඔබට ජාතියේ උපහාරය..(හේ)
මනු ලොව දෙවියන්ද සිටින බව සනාථ විය ,මේ පිළිබද දැනුම් දීම පිළිබද ලංකාදීපයට ගොඩක් ස්තුතියි. (හේ)
ආදරය, කරුණාව, දයාව ඇති තැන දෙව් ලොවකි.මේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සහ පුංචි පුතාලා කළ මේ උතුම් මෙහෙවරට සම්මා සම්බුදු සරණයි. (නි)
යහපත් හොඳ වැඩක්, තව තවත් මේ වගේ යහපත් වැඩ කිරීමට ඔබට, සැමට හැකි වේවා. (අ)
මෙන්න මිනිස්සු. (හේ)
ඉතාම උතුම් වැඩක්. ඔබට පිං! (නි)
උදෙන්ම සිත පහන් කරන,සතුටට නෙතට කදුලක් ඉනූ පුවතක් කියවීමි.අපේ කාලයේ සිටියා වැනි ගුරු දෙවියෙක් නැවත දුටිමි,මාද අද මෙතැන සිටින්නේ මෙවන් ගුරුදෙවියෙකුගේ පිහිට මාහට ලැබුණු නිසාවෙනි.නොවුවේ නම් මා වැන්නෙක් සමාජයට ඉතිරි නොවන්නට තිබුණි.එයට ගරුකටයුතු පිණිස මාගෙන් මා වැන්නන්නට මගේ යුතුකම් නොපිරිහෙලා තවමත් ඉටු කරමි.මෙවන් පුවතක් පලකල ලංකාදිපයටද ස්තුති කරමි.(හේ)
විදුහල්පතිටුමනි ඔබට බුදුසරණයි.(හේ)
ගොඩක් පිං! මේවගේ පාසල් සීයක් තිබුනොත් ලස්සන ලංකාවක් හදන්න පුළුවන්. සමහර උසස් යැයි කියාගන්න පාසල් වල විදුහල්පතිවරු ඉතාමත් අනවශ්‍ය විදිහට සෝබන වියදම් වලට සල්ලි එකතුකරනවා. ඔවුන් මේවා ආදර්ශයට ගත්තොත් හොඳයි (නි)
බලන්නකොට මේ පාසල් පරිපාලනයෙන් ඉතා හොඳ වැඩවල් රාශියක් කරලා තියනවා. රටේ අනිකුත් පාසල් වලටත් හොඳ ආදර්ශයක්. මේ පාසලෙන් අනාගතයේදී පිටවන්නේ හොඳ සමාජයක්. ලෙඩ රෝගයක් අවොත් මිනිස්සු මොනතරම් දුක්විදින්නේ. අපි ගෙවන්න බදු වලින් රජයේ රෝහල්වලින් 100% නොමිලේ ප්‍රතිකාර ලේබෙන්නේ නෙහෙ කියල මේකින් තෙරනවනේ. (හේ)
නීතිගරුක පොඩි මිනිස්සු කරන මේ වගේ උතුම් වැඩ දකිනකොට දේශපාලකයන්ට ලජ්ජා හිතෙන්න ඕනේ. මේ නිවස බේරලා දෙන්න එකතු කරගත්ත ගානට වැඩිය ගානක් රාත්‍රී සමාජ ශාලාවක එක බිලකට ගෙවන මිනිස්සු මේ රටේ ඉන්නවා. (හේ)
මෙන්න අගය කළ යුතු මිනිස්සු.(හේ)
අනුන්ට බොරු කරන, විශ්වාසයට දෙන මුදල් වලට වංචා කරන සමහර අවස්ථාවාදී මිනිසුන් සිටින යුගයක, ඔබ වැනි උතුම් මහත්මයෙක් මෙවැනි සත්ක්‍රියාවක් කිරීම ගැන ඇත්තෙන්ම හරිම සතුටුයි. ඔබතුමා ඇතුළු මේ උතුම් ක්‍රියාවකට සම්මාදම් වූ සැමදෙනාටම පිං! (නි)
රන්බණ්ඩා විදුහල්පතිතුමාගේ රත්තරන් ක්‍රියාව පිළිබඳව ඉතාමත් සතුටුයි. සුබ පැතුම්.(හේ)
ඔබ වැනි ගුරු පියෙක්ගෙන් ශිල්ප ලබන දරුවන්ගේ අනාගතය කොපමණ සුන්දර වේවිද? සැමටම ආදර්ශයක්. ඔබතුමාට නිදුක් නිරෝගී සුවය පතනවා! (නි)
විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය ගැන ආඩම්බර වෙමි, ඔබ වැනි විරල වියතුන් අප ලක්දෙරණට පහල වන්නේ කලාතුරකිනි,(හේ)
මේ වගේ මිනිසුුන් ටිකකට රටේ පාලනය දුන්නා නම් රට දියුණුවෙන් දියණුවට පත්වෙනවා. හැබැයි ලංකාවේ ඡන්දදායකයා, තව බොහෝ-බොහෝ-අසීමිත-දිගු කලක් යනතුරු එම තත්වයට එන්නේ නැහැ. (නි)
මේ ක්‍රියාව රටටම ආදර්ශයක්.(හේ)
ගරු රන්බණ්ඩා මහාතාට නැවත වරක් තනතුරු අවශ්‍ය නෑ. මේ කළ නිහඩ සේවය හොඳටම ඇති. රටේ දේශපාලකයිනි මෙතුමාව අදර්ශයට ගන්න. . එතුමාට ගොඩක් පින්. අපි ඔබව අදාර්ශට ගන්නවා.(හේ)
මේවට තමා නියම මනුස්සකම කියන්නේ!.(හේ)
දැනට වසර 25 පෙර මෙවැනි බුද්ධිමත් හොඳ ආදර්ශයක් විදුහල්පතිවරු සිටිය රටට දැයට අවංකව සේවය කරන වර්තමානයේ මෙවන් රන්බණ්ඩා විදුහල්පතිතුමා වැනි ගුරු වෘත්තිය දේවත්යෙන් සලකා වැඩකරන නිහතමනී ඇති සෙසු පුද්ගලයන් රට නැවත ජනිත වීම ලොකු අඩබ්බරයක් අපි සැමට. බලධාරින් විමසිලිමත් වන්න මේ අවංක සේවයට රටට ලොකු ආදර්ශයක් !!(හේ)
අති උදාර පින්කමක් ඔබල කළේ. විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සහ උපකාර කළ සියලු දෙනාට මුළු ශ්‍රී ලංකාවේම ප්‍රණාමය! මෙවන් අතිවිශිෂ්ට පුවත් ගෙනෙන ලංකාදීපයටත් ස්තුතියි! (නි)
උදාර පින්කමක්. මුළු රටටම ආදර්ශයක්.(හේ)
සමාජය කොහොම හිතුවත් තාමත් ගුරු දෙවිවරු අප අතර ඉන්නවා. හැම ගුරුවරයෙකුම මෙය ආදර්ශයට ගන්න එක තමා පැහැබර අනාගතයකට අඩිතාලම. එයයි වියයුත්තේ. (නි)
ඔබ වැනි මිනිසුන් ඉතා අවශ්‍ය යුගයකි මේ .මිල මුදල් වලින් අන්ද මිනිසුන් සිටින රටක .ඔබලාට පින්.(හේ)
ඉතා උතුම් ක්‍රියාවක් ගරු විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ සිසු දරු දැරියෝ කලේ. ගොඩක් පින් ඔබ සියලු දෙනාට. හොද ආදර්ශයක්. අපි එකමුතු වෙලා දුප්පත් අය ගොඩ ගන්න මෙවැනි වැඩ කරමු. රට පුරා මෙහෙම කරනවානම් කොච්චර හොදද.(අ)
ඉතා උතුම් ක්‍රියාවක් ගරු විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය සහ සිසු දරු දැරියෝ කලේ. ගොඩක් පින් ඔබ සියලු දෙනාට. හොද ආදර්ශයක්. අපි එකමුතු වෙලා දුප්පත් අය ගොඩ ගන්න මෙවැනි දේ කරමු. රට පුරා මෙහෙම කරනවානම් කොච්චර හොදද. (හේ)
ඔබ උතුම් මිනිසෙක් (නි)
සමහර අපචාර, දුෂණ , වංචා චෝදනා ලබන විදුහල්පතිවරුනුත් ඉන්න රටක රන්බණ්ඩා මහතාගේ සේවය අතිවිශිෂ්ඨයි. ඔබතුමාට මෙන්ම ඔබගේ පවුලේ සැමටත්, මෙවැනි ක්‍රියාවලට සම්බන්ධව සහයෝගය දෙන අනෙක් සියලු දෙනාටත් ජයෙන් ජයම වේවා!!(හේ)
මම මිනිසෙකු දුටිමි! (නි)
මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි. ඔබේ ක්‍රියාවෙන් එය රටටම කියාදී තියෙනවා. බුදු සරණයි! (නි)
වහන්න ගිය පාසලක් කලාපයෙන් පළමු තැනට ගෙන ආ ඔබතුමාට අපගේ ප්‍රණාමය. මෙවන් ප්‍රජා සත්කාර තවදුරටත් ඉටු කිරීමට ඔබ තුමාට ශක්තිය ලැබේවා.(හේ)
මෙන්න දෙවිවරු. වඳින්න ,! පුදන්න !!(හේ)
බෝසත් විදුහල්පතිතුමා ඇතුළු දායකවූ සැමට අපගේ ප්‍රණාමය! (නි)
තවත් මෙවැනි පුවත් අසන්නට අපි වාසනාවන්ත වේවා! (නි)
විදුහල්පති තුමාව අගය කළ යුතුයි.(හේ)
මේ වගේ විදුහල්පතිවරුන්ට අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කොහොමද සලකනන්නේ ?(හේ)
විදුහල්පති තුමනි ඔබට මගේ ආචාරය . ඔබ වැනි අය අපේ රටේ හොර දේශපලකයින්ට ආදර්ශයක්. රටකට , අසරණයන්ට සේවය කරන්න පාර්ලිමේන්තුවට යන්නම ඕනද? ඔබ ගැන අපිට ආඩම්බරයි.(හේ)
ආදර්ශවත් විදුහල්පතිවරයෙක්. ඔබට පින් (නි)
ඔබ වැනි දෙවිවරුන් මේ ලෝකේට තව බිහිවේවා.(හේ)
බොහොම පිනක්. කුසලයක්. ආදර්ශවත් වැඩක්! (නි)
ජනප්රිය වෙන්නත් එක්ක හොද වැඩක් (අ)
මෙවන් දෙවිවරු වැනි මිනිසුන් තවමත් මේ ලෝකයේ සිටීද? (නි)
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)
ඔබගේ රන් හදවතට අපගේ ආචාරය! (නි)
උතුම් ගුරු පියතුමනි ඔබට ජය.(අ)
ඔබ වැනි ගුරු දෙවිවරුන්ට ලොව සියලු දෙනාගේම ගෞරවය, ආශිර්වාදය ලැබේවා! (නි)
ඔබට මාගේ ප්‍රණාමය! (නි)
මෙවැනි ළමා පෙළක් සිටින අපේ රටේ අනාගතය මොනතරම් වාසනාවන්තද? විදුහල්පතිතුමනි, ඔබතුමාගේ දෙපා නමදිමි (නි)
මේ දෙයට වචනයකින් හරි සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙවි පිහිටෙන් කිසිම ලෙඩක් දුකක් නොවේවා.සැම දෙනාටම තෙරුවන් සරණින් සෙතක්ම වේවා.(අ)
විදුහල්පතිතුමනි,ඔබතුමා ජීවමාන දෙවි කෙනෙකි. ඔබතුමාට ජයෙන් ජය ලැබේවා! දුවේ පුතේ, හොඳින් ඉගෙනගෙන හොඳ පුරවැසියන් වී මෙතුමන්ගේ පරිශ්‍රමයට ආදර්ශයක් වන්නට හිතට ගන්න. (නි)
මේ වගේ මිනිසුන්ට තමයි රජයෙන් දියයුතු උපරිම සම්මානය දියයුත්තේ (නි)