(ටී.කේ.ජී.කපිල )

රුපියල් එක් කෝටි හතලිස් නව ලක්ෂ දහසය දහස් අටසිය දොළහක් 1,49,16,812 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය.

අත් අඩංගුවට ගත් පුද්ගලයා 28 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඔහු ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් මෙම විදේශ මුදල් තොගය අනාවරණය කරගෙන රේගු නිලධාරීන් වෙත භාර දී තිබුණි.

මෙම ගුවන් මගියා ඇද සිටි ජැකට්ටුවේ සහ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ ඇමෙරිකානු ඩොලර් 40,000 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 1,60,000 ක මුදලක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.