(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වර්තමාන රජය බලයට පත්ව ගතවූ වසරේදී ඩොලර් බිලියනය ඉක්මවූ විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති බවත්, 2026 වසරේදී එම ඉලක්කය ඩොලර් බිලියන 1.5 සිට 2 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවත් කම්කරු අමාත්‍ය සහ  නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිවුලපිටිය, දොරොව්ව පූර්වාරාම විහාරස්ථානයේදී පැවැති ජංගම සේවා වැඩසටහනට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

අමාත්‍යවරයා  මෙසේද පැවසීය.

"ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම් රජය කළ යුත්තේ ආයෝජනයට අවශ්‍ය පරිසරය සකස් කර දීමයි. දේශපාලන යාන්ත්‍රණය හරහා සිදුකළ කප්පම් ගැනීම් සහ පගා ගැනීම් වැනි දූෂිත ක්‍රියා අප සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. එමඟින් ආයෝජකයින් තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. 2026 වර්ෂය සඳහා රාජ්‍ය ආයෝජන ලෙස රුපියල් බිලියන 4,480 ක දැවැන්ත මුදලක් අප වෙන් කර තිබෙනවා."

ආයෝජකයින්ට ආයතන ගණනාවකට යාමට සිදුවන අපහසුව මඟහරවා, 'එකම කවුළුවකින්' සියලු පහසුකම් සලසා දීමේ අඩිතාලම මේ වන විට සකස් කර ඇති බවත්, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා ආයෝජන දිරිමත් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

විපක්ෂය වසර ගණනාවක් තිස්සේ ගෙන ආවේ ඩොලර් බිලියන 13 ක පමණ ආයෝජන ප්‍රමාණයක් බවත්, ඔවුන් එල්ල කරන චෝදනා තමන් කළ වංචා දූෂණ පිළිබඳ නඩු කටයුතුවලින් බේරීමට කරන උත්සාහයන්දැයි සැක සහිත බවත් ඔහු සඳහන් කළේය.