(අංජුල මහික වීරරත්න)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ සියලු ගැටලුවලට හැකි ඉක්මණින් විසඳුම් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එතෙක් සියලු පාර්ශ්වයන් මනා අවබෝධයෙන් කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට රජයට සහාය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

ලංකා විදුලි බල මණ්ඩලය තුළ හිමිවු සියලු සේවක අයිතිවාසිකම් ඒ අයුරින්ම නව සමාගම් තුළ තහවුරු කිරීමත්, සමාගම් යටතේ සේවක අයිතින් සුරක්ෂිත කිරීමත් රජයේ ස්ථාවරය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම අන්තර්කාලීන අවස්ථාවේ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් සිය දායකත්වය ලබා දෙන ලෙස එහි සියලු වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළේය. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සේවක ගැටලු විසඳීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමටත් අවධානය යොමු කෙරිණි.

සාමුහික ගිවිසුමකට එළැබීමේදි සහ පැරණි නොවිසඳුණු ප්‍රශ්න විසඳා ගැනීමේදී වෘත්තීය සමිති සහ පාලන අධිකාරිය එකඟතාවෙන් යුතුව අතරමැදි ස්ථානයක සිට කටයුතු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිළි කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමේ අරමුණු පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රජයේ ඉදිරි සියලු ආර්ථික සැලසුම් පුර්ණ ලෙස බලශක්තිය මත තීරණය කෙරෙන බවයි. එබැවින් මෙරට ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට බලශක්තිය පත්වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝගයට මුහුණදීම සඳහා බලශක්ති ක්ෂේත්‍රය සුදානම් කිරීමේදි ශක්තිමත් ආයතනික ව්‍යුහයක අවශ්‍යතාව මතුව තිබෙන බව පෙන්වා දුන්නේය. 

විදුලිබල මණ්ඩලය සතුව ඇති දත්ත පිළිබඳ තිබෙන අවිනිශ්චිතතාව හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයද මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා විධිමත් දත්ත පද්ධතියක් මෙන්ම මෙවැනි ක්ෂේත්‍රයක පවත්වාගෙන යා යුතු ඉහළ මූල්‍ය විනය ඇති කිරීම පිළිබඳවද මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී අවධානය යොමු කෙරුණු බව පෙන්වා දුන්නේය. 

එමෙන්ම ඉලක්ක සහගත ලෙස සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

විශේෂයෙන් පසුගිය දිට්වා සුළි කුණාටුව ඇතුළු සියලු හදිසි අවස්ථාවලදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් සිදු කළ කැපවීම මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ඇගයීමට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් වෘත්තීය සමිති නියෝජිතයන් පැවසූයේ මැද පෙරදිග යුදමය තත්ත්වය සහ ඊට මුහුණ දීමේදී මතු වී ඇති අභියෝග පිළිබඳ තමන්ට අවබෝධයක් ඇති බවයි. මෙම අවස්ථාවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමේ සහ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පෙන්වා දුන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වඩා නිවැරදිව ඉටු කර ගැනීමට සිය දායක්තවය ලබා දෙන බව ප්‍රකාශ කළහ.

මෙම ක්‍රියාවලියේදී තමන් මුහුණ දී ඇති ප්‍රධාන ගැටලු දෙකක් ලෙස නව සමාගම් තුළ නිසි පත්වීම් ලිපියක් ලබා ගැනීම සහ  සාමුහික ගිවිසුමක අවශ්‍යතාව පෙන්වා දුන් වෘත්තිය සමිති නියෝජිතයෝ පසුගියදා බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත්, ජනාධිපතිවරයාගේ මැදිහත්වීමද ඊට අපේක්ෂා කරන බවත් සඳහන් කළහ.

එමෙන්ම, මේ වන විටත් නව සමාගම් සහ සේවකයන් අතර සාමුහික ගිවිසුමක් සකස් කර තිබෙන අතර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි එය හැකි ඉක්මණින් කැබිනට් මණ්ඩලයේ අනුමත කර ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩි සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.