(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

විදුලි බිල නැවත වතාවක් වැඩි කළහොත් රටපුරා තේ කම්හල් හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ථිර වශයෙන්ම වැසී යනු ඇතැයි  තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති  ලයනල් හේරත් මහතා පැවසීය.

මේ අවදානම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන්  සභාවට ලිඛිතව දැනුම් දුන් බවද  ඔහු   සඳහන් කළේය.

දැනට රට පුරා තේ කම්හල් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

තේ දළු නිෂ්පාදනයද  මේ වනවිට විශාල වශයෙන් අඩුවී ආදායම පහත බැස ඇති අවස්ථාවක විදුලිය බිල වැඩි කළහොත් එය තේ කර්මාන්තයට දරාගත නොහැකි වනු ඇතැයිද  ඔහු සඳහන් කළේය.

පොහොර ප්‍රශ්නය මෙන්ම දේශගුණික තත්වය නිසා  තේ දළු නිෂ්පාදනය මෙසේ පහත වැටී ඇති බව ලයනල් හේරත් මහතා
වැඩිදුරටත් පැවසීය.

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රට පුරා විශාල විරෝධයක්  නැගෙමින් පවතී. විවිධ පාර්ශව විසින් විරෝධතා පෙත්සම් ගණනාවක්ද  රජයට දැනටමත් බාර දෙනු ලැබ ඇත.

විදුලිය බිල නැවත වතාවක් වැඩි කිරීමට නියමිතව ඇත්තේ මේ මාසයේ සිටය. විදුලිය බිල වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ඊයේ (9) හිමිවිය.