(රෝෂන් තුෂාර)

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ  විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රා අසංග  එස් බෝදරගම  මහතා හමුවේ (06) ප්‍රකාශ කළාය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට  ස්නායු ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන්, දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරිය ගේ දියණිය වන   හේමාලී විජේරත්න විත්තිකාරිනිය මෙසේ නිවැරදිකාරිය බව සඳහන් කළාය.

අධිකරණයේ පෙනී සිටි විත්තිකාරිය අදාල චෝදනාවන්ට නිවැරදිකාරී බව පැවසූ හෙයින් පැමිණිල්ල විභාගයට තැබූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල විභාගයට නියම කරමින්  සාක්ෂිකරුවන්ට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසිද නිකුත් කළේය.

විශේෂඥ වෛද්‍ය  මහේෂි විජේරත්න  සැකකාරිය අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ 2025  ජූලි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී හේමාලී විජේරත්න විත්තිකාරිය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට  තර්ජනය කිරීම, රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කෙරිණි.

විත්තිකාරිය  වෙනුවෙන්  ජනාධිපති නීතිඥ උපුල් කුමරපපෙරුම මහතා කරුණු ඉදිරිපත් කරමින් නඩු විභාගයට මුහුණ දීමට විත්තිකාරිය සූදානම් බවත් ,ඇයගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන පරිදි  විදේශගතත වීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරියෙන් නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින බවට ද ප්‍රකාශ කළේය.

සිය සේවාදායිකාවට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයේ  විශ්ව විද්‍යාලය බලා යෑම සිදු කළ යුතු හෙයින් මෙම ඉල්ලීම කරන බවද පැවසීය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා  සැකකාරියට අධ්‍යාපන කටයුතු සඳහා  විදේශ ගතවීමට අවසර ලබා දුන්නේය.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොතිසි නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිලි විභාගය මැයි  05 දින ආරම්භ කරන බවටද නියෝග කළේය.