(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වත්කම් බැරකම් ඉදිරිපත්  කළ යුතු ලයිස්තුවට ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, ස්වාධීන කොමිෂන් සභාවල කොමසාරිස්වරුන්  තානාපතිවරුන්  ඇතුළු තවත් පිරිසක් ඇතුළත් කිරීමට  දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙන්  ප්‍රතිපාදන සැලසෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ  ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

වත්කම් බැරකම් ප්‍රකාශ  ඉදිරියේදී ඉදිරිපත් කළ යුතු පිරිසට ඇතුළත් වන සෙසු පිරිස වන්නේ මහ ඇමැතිවරුන්, පළාත් සභා ඇමැතිවරුන් මන්ත්‍රීවරුන්, තානාපති කාර්යාලවල විධායක නිලධාරීන් යැයිද  ඔහු සදහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ  දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදීය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.

දූෂණ විරෝධී පනත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  කොන්දේසියක් නොවෙයි. පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයත්  එහෙම දෙයක් නොවෙයි. දූෂණය වැළැක්වීමට මේ අයවැය  කාර්යාලය ඉතා  වැදගත්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මේ නීතිය ආපස්සට බලපාන්න ඕන. එහෙම දෙයක් මෙතන නැතිබව ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් මට පැවසුවා.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා:

අපි ඒ ගැන නීතිපතිතුමාගේ අදහස විමසනවා.එහෙම කරන්න පුළුවන්ද කියලා.  සියලු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරන්න සූදානම්.