(අංජුල මහික වීරරත්න)

 වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

වතු  කම්කරුවන්ගේ වැටුප් වැඩි  කිරීමට අදාලව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වැවිලි සමාගම් ප්‍රධානීන් සමග අද (08)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව  ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.