(විශේෂ වාර්තාකරුවකු විසිනි)

කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පොලිස් ස්ථානයක ස්ථානාධිපති වරයා නිවාඩු ගොස් සිටියදී එහි වැඩ බලන ස්ථානාධිපතිවරයකු රාජකාරියේ නිරත වෙමින් එහි දූෂණ මර්දන අංශ භාර පොලිස් පරීක්ෂකවරයකු සමග එක්ව පොලිස් බැරැක්කයේ ඉකුත් දිනෙක රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිට ඇතැයි වාර්තාවේ.

එම අවස්ථාවේ මත් පැන් බොන දර්ශන වෙනත් පොලිස් පරීක්ෂකවරයකු විසින් ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කරනු ලැබ ඇතැයි කියති.

මත්පැන් පානය කර සිටි පොලිස් පරීක්ෂකවරයා ඊට උරණව එම පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකතනය උදුරාගෙන ඇති බවත් පසුව දෙදෙනා අතර ආරවුලක් ද ඇති වී තිබෙන බවත් දැනගන්නට ඇත.

උරණ වූ පොලිස් පරීක්ෂකවරයා උදුරාගත් දුරකතනයද රැගෙන නිවසට ගොස් ඇති අතර ජංගම දුරකතනය හිමිකාර පොලිස් පරීක්ෂකවරයා ඒ සමගම තම ජංගම දුරකතනය ලබාගැනීමට අදාළ නිලධාරියාගේ එම නිවසට ගොස් ඇති බවත් වාර්තාවේ. එහිදී ඔවුන් දෙදෙනා අතර බැනගැනීමක්ද සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ අතර එම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා රාජකාරියේ සිටිමින් මත්පැන් පානය කරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකුට පැමිණිලි කර ඇති බවත්, මෙම උසස් නිලධාරියා සිද්ධිය විමසීමට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට ඇමතූ විට ඔහු එම උසස් නිලධාරියාගේ දුරකතනයට ප්‍රතිචාර දක්වා නැති බවත් වාර්තා වේ.

කළුතර දිස්ත්‍රික්කයේ උසස් පොලිස් නිලධාරියකු මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කරන ලෙස කොට්ඨාසයේ ප්‍රධාන පෙළේ නිලධාරියකුට නියෝග කර ඇති බවද වාර්තා වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ද එක්තරා නිලධාරියකු දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

මේ පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් අදාළ අංශ වෙත සිදුවීම වාර්තා කර ඇති අතර සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශන සිදු කෙරෙන බව දැන ගන්නට ඇත.